relative-arrested-for-murder-of-kahawatta-youth

 මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ආරවුලක් මත කහවත්ත, පලන්සුරියගම ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වේ. පහළගම විතානලාගේ ඉමන්ත සුරන්ජන නම් මෙම තරුණයා, පසුගිය 30 වන දින රාත්‍රියේ කහවත්ත - ඇන්දාන මාර්ගයේ දලුග්ගල ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීමට ලක්ව ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා, මියගිය තරුණයාගේ ඥාතිවරියක් වන තරුණ කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.



අත්අඩංගුවට ගත් කාන්තාව, ඝාතනයට ලක්වූ ඉමන්ත සුරන්ජනගේ මවගේ වැඩිමහල් සහෝදරියගේ දියණිය වන අතර, ඇය මෙම අපරාධයේ ප්‍රධාන චූදිතයා ලෙස සැලකෙන පුද්ගලයාගේ නිවසේ පදිංචිව සිට ඇත. එම ප්‍රධාන චූදිතයා මේ වන විට විදේශගතව පසුවන බවට තොරතුරු අනාවරණය වී තිබේ. චූදිතයාට අයත් නිවසට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර, එය මියගිය තරුණයාගේ නිවසට නුදුරින් පිහිටා තිබීමද විශේෂත්වයකි.

විදේශගතව සිටින මෙම පුද්ගලයා විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට පොලීසිය ප්‍රබලව සැක කරයි. මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු, කහවත්ත පලන්සුරියගම ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ පදිංචියට පැමිණි අයෙකි. මෙම තොරතුරු ඔස්සේ හෝඩුවාවන් කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.

මෙම ඝාතනය සිදුවීමට පෙර, පලන්සුරියගම ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකු ඝාතනය කරන බවට වට්ස්ඇප් දුරකථන ඇමතුම් ඔස්සේ මරණීය තර්ජන එල්ල වී ඇති බවටද අනාවරණය වී තිබේ.

පරීක්ෂණ කටයුතු සඳහා පැමිණි රත්නපුර විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන්ට ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙම තොරතුරු ලබා දී ඇත. වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ තරුණයාට සහ ඔහුගේ නිවුන් සොහොයුරාටද මෙවැනිම තර්ජන එල්ල වී තිබූ බව ඔහුගේ දෙමාපියෝ පවසති. ඝාතනයට ලක්වූ ඉමන්ත සුරන්ජන තරුණයාගේ දේහය පසුගිය 02 වනදා අලුයම ඔහුගේ නිවස වෙත රැගෙනවිත් තිබිණි.