gossiplanka image 1

 සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුර සඳහා රහස් ඡන්ද විමසීමක් පැවැත්වීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය ගත් තීරණයට එරෙහිව සමගි ජන බලවේගය ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය පියවර ගෙන තිබේ.



මෙම පෙත්සම ගොනු කිරීමට මූලික වූයේ, පසුගිය 17 වන දින පැවති සීතාවක ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරයේදී, සභාපති හා උප සභාපති තේරීම විවෘත ඡන්දයකින් සිදු කරන ලෙස මන්ත්‍රීවරුන් 24 දෙනෙකු ලිඛිතව ඉල්ලා තිබියදී, පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය විසින් රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය කිරීමයි.



කොමසාරිස්වරියගේ මෙම තීරණය ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම මහජන විශ්වාසය කඩ කරන්නක් බව පවසමින් සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් එදින විරෝධතාවක නිරත විය. එම අවස්ථාවේදී ඇතිවූ තත්ත්වය හමුවේ ගණ පූරණය සපුරා නොතිබීම හේතුවෙන්, සභා වාරය කල් දැමීමට කොමසාරිස්වරියට සිදු වූ අතර, එම නිසා සභාපතිවරයෙකු හෝ උප සභාපතිවරයෙකු තෝරා ගැනීමට නොහැකි විය.

පළාත් පාලන කොමසාරිස්වරියගේ ක්‍රියාකලාපය අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගය අභියාචනාධිකරණය වෙත මෙම පෙත්සම ගොනු කළේ ඉන් අනතුරුවය. එමගින් ඔවුන් ඉල්ලා සිටියේ රහස් ඡන්ද විමසීම ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කර,

ඒ වෙනුවට විවෘත ඡන්ද විමසීමක් පැවැත්වීමට නියම කරන ලෙසයි.

කෙසේ වෙතත්, අද (14) දින මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී, අභියාචනාධිකරණය එය වැඩිදුර විභාගයකින් තොරවම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කරන ලදී.