පාතාල කල්ලි නායකයෙකු වූ ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ මව රක්ෂිත බන්ධනාගාරයේ සිටියදී මිය ගොස් තිබේ. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝගාතුර වූ ඇය, වැලිකඩ බන්ධනාගාරයේ සිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පෙරේදා (12) දින මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ, කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචිකාරියක වූ 48 හැවිරිදි සේස්සත්පුර දේවගේ සමන්ති නමැති කාන්තාවකි. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ඇය ප්‍රථමයෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව,
වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහල වෙත යොමු කළ බවයි.
කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ විත්තිකූඩුව තුළදී ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බවට එල්ල වූ චෝදනා මත, මියගිය කාන්තාව සහ ඇගේ පුත්‍රයෙකු වන චමිදු තිවංක වීරසිංහ, පසුගිය පෙබරවාරි මාසයේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඇගේ පුත්‍රයා තවමත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ.
නීතිඥවරියක ලෙස වෙස් වලාගත් ඉෂාරා සෙව්වන්දි නමැත්තිය, නීති පොතක සඟවා ගෙන ආ ගිනි අවියක් ඝාතනය සඳහා හිටපු යුද හමුදා කමාන්ඩෝ සෙබළා වෙත ලබා දුන් බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පසුගිය පෙබරවාරි 19 වන දින මෙම ඝාතනය සිදු වූ අතර, සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඇය අත්අඩංගුවට ගැනීම සඳහා
කොළඹ අපරාධ කොට්ඨාසය තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.
මේ අතර, ඝාතනය සිදු කළ බව කියන හිටපු කමාන්ඩෝ සෙබළා, සිද්ධිය වූ දිනයේම රාත්‍රියේ පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මියගිය කාන්තාවගේ දේහය හඳුනා ගැනීම සඳහා ඇගේ ඥාතියෙකු ඊයේ (13) දින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත පැමිණ ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය භාර දීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval