shots-fired-at-the-home-of-an-officer-who-refused-to-grant-a-visa-to-an-underworld-figure

 ඩුබායිහි රැඳී සිටින පාතාල කල්ලි සාමාජිකයන්ට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලාංකික වීසා නිලධාරියකුගේ ගණේමුල්ල, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. 



පසුගිය 11 වන දින රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර, ඒ පිළිබඳව නිවැසියන් විසින් පොලිසියට පැමිණිලි කර ඇත්තේ 13 වන දිනයේදීය. අදාළ නිලධාරියාගේ අමුණුගොඩ ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවස ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වී ඇති නමුත්

ඉන් කිසිදු පුද්ගලයකුට හානියක් සිදුවී නොමැති බව පොලිසිය තහවුරු කරයි. වෙඩි ප්‍රහාර හේතුවෙන් නිවසේ ජනේලයකට සහ උඩුමහලේ බැල්කනියේ ආරක්ෂිත යකඩ වැටට අලාභහානි සිදුවී ඇත.

ඩුබායිහි සේවය කරන මෙම නිලධාරියා, සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසකට වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් පැවති එකඟතාවක් කඩකිරීම මෙම ප්‍රහාරයට හේතුව වන්නට ඇති බවට මූලික විමර්ශනවලදී සැක පහළ වී තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, ස්ථානීය පරීක්ෂාවේදී නිවෙසේ බිත්තිවල සහ ගේට්ටුවේ උණ්ඩ පහක පමණ සලකුණු හඳුනාගෙන තිබේ. ගණේමුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.