
රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේදී සිදු වූ ඉවෝන් ජොන්සන් ඝාතනයට මරණ දඬුවම නියමව සිටියදී, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් විශේෂ ජනාධිපති සමාවක් හරහා නිදහස් වී රටින් පළාගොස් සිටින ජූඩ් ශ්‍රමන්ත ජයමහ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක් නිකුත් කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
නීතිපතිවරයා මෙම දැනුම්දීම සිදුකරන ලද්දේ, ජනාධිපති සමාව බලරහිත කරන ලෙස ඉල්ලා කාන්තා හා මාධ්‍ය එකමුතුව විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා, රතු නිවේදනය නිකුත් කිරීමට අදාළ රහසිගත තොරතුරු ඇතුළත් ලිපිගොනුවක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම ජනාධිපති සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීන්දු කර එය බලරහිත කර තිබූ අතර, ඒ වන විටත් ජූඩ් ශ්‍රමන්ත ජයමහ මෙරටින් පළා ගොස් තිබිණි. ඔහුව නැවත මෙරටට ගෙන්වා ගැනීමට ගන්නා ක්‍රියාමාර්ගවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට මීට පෙර නියෝග කර තිබුණි.
කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, පෙත්සම සම්බන්ධ වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා එය ලබන සැප්තැම්බර් මස 01 වන දින නැවත කැඳවන ලෙස නියම කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval