nishantha-jayaweera-to-replace-harshana-suriyapperuma-in-parliament

 මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කරන ලද ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යංශයේ ‍ලේකම් ධුරයට යාම සඳහා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්ත්‍රී පුරප්පාඩුව පිරවීම සඳහා ජාතික ජන බලවේගයේ (NPP) මන්ත්‍රීවරයෙකු ලෙස උස්හෙට්ටිගේ දොන් නිශාන්ත ජයවීරගේ නම ගැසට් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


ජාතික ජන බලවේගය විසින් නම් කරන ලද උස්හෙට්ටිගේ දොන් නිශාන්ත ජයවීර එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතයි. 



පසුගිය 2024 ඔක්තෝබර් මසදී  හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය තීරණය කිරීමෙන් පසු එම තනතුරේ වැඩ බලන ලද්දේ උස්හෙට්ටිගේ දොන් නිශාන්ත ජයවීරයි.
ඔහු ඊට පෙර ජනාධිපති අතිරේක ලේකම් (ආයතන සම්බන්ධීකරණ 2) වශයෙන් සේවය කළේය.



පසුගිය දා, ඉල්ලා අස්වූ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුමගේ පාර්ලිමේන්තු අසුනට අයෙකු පත් කිරීමේ අවසන් තීරණය  ජාතික ජනබලවේග සාකච්ඡා වට කිහිපයකින් පසු සිදු විය.
මේ සඳහා මුලදී නම් තුනක් යෝජනා වී තිබූ අතර ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චි සහ නීතිඥ ලාල් විජේනායක යන තිදෙනා එම නම් අතර විය.
කෙසේ වෙතත් අවසානයේ ජනපති යෝජනා කළ අලුත් නමක් ලෙස නිශාන්ත ජයවීර මහතා තෝරාගන්නා ලදි.