
ඉන්දියාවේ අගනුවර වන දිල්ලියේ සිදුවූ ද්විත්ව මිනීමැරුම් සිද්ධිය මේ දිනවල එරට කළඹන්නට සමත්වූ පුවතක් බවට පත්ව තිබේ. රෙදිපිළි ව්‍යාපාරික කුල්දීප් සේවානිගේ 42 හැවිරිදි බිරිඳ වන රුචිකා සහ 14 හැවිරිදි පුත් ක්‍රිෂ් ඝාතනය කර තිබෙන්නේ ඔවුන්ගේ වයාපාරයේ සේවකයෙකි.
මෙම අපරාධය සිදුකළ සේවකයා පොලීසිය හමුවේ කම්පනය දනවන තොරතුරු රැසක් හෙළි කර ඇති අතර, රෙදිපිළි ව්‍යාපාරිකයෙකුගේ බිරිඳ විසින් ඔහු වෙත යවන ලද හඬ පණිවිඩයක් මෙම මව සහ පුතු ඝාතනයට හේතු වූ බවට නවතම හෙළිදරව්වක් සිදුව තිබේ.
චූදිත සේවකයා වන මුකේෂ්, 42 හැවිරිදි රුචිකා සහ 14 හැවිරිදි රිෂ් ඝාතනය කළ එම අපරාධය සිදුකළ ආකාරය අතිශය දරුණුය. විශාල පිහියකින් රුචිකාගේ ගෙල සියයට 80කට වඩා කපා දමා තිබූ අතර, කැපී නොගොස් ඉතිරිව තිබී ඇත්තේ ඇගේ ගෙලෙහි අස්ථිය පමණි.
පොලිස් කොමසාරිස් හේමන්ත් තිවාරි පැවසුවේ, රුචිකා විසින් 24 හැවිරිදි සැකකාර මුකේෂ් පාස්වාන් වෙත බදාදා පස්වරු 3:30ට පමණ හඬ පණිවිඩයක් යවා ඇති බවයි. එම හඬ පණිවිඩය මගින් රුචිකා, තමන් ණයට දුන් ඉන්දීය රුපියල් 45,000 (ශ්‍රී ලංකා රුපියල් 160000) සහ ජංගම දුරකථනය නැවත ඉල්ලා තිබුණි. මෙම පණිවිඩයම රුචිකාගේ ඝාතනයට හේතුව බවට පත්විය.
ලාජ්පත් නගර් පොලීසිය විසින් සිකුරාදා දින සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ඔහුව දින තුනක පොලිස් රැඳවුම් භාරයට පත් කර ඇත.
නියෝජ්‍ය පොලිස් කොමසාරිස් හේමන්ත් තිවාරි තවදුරටත් පැවසුවේ, සැකකරු මාස දෙකක පමණ කාලයක සිට රෝගාතුරව සිටි බවත්, ඔහු රාජකාරියට පැමිණීම අඩු කර තිබූ බවත්ය. පසුගිය දින හතරේදීම ඔහු අඛණ්ඩව නිවාඩු ලබාගෙන තිබිණි. මේ හේතුවෙන් රුචිකා, දහවල් 12:30ට පමණ තවත් සේවකයන් දෙදෙනෙකු වන ප්‍රේම් සහ සුරේන්ද්‍රව මුකේෂ්ගේ නිවසට යවා ඇත. එහිදී ඔවුන් වීඩියෝ ඇමතුමක් මගින් මුකේෂ්ව රුචිකා සමඟ සම්බන්ධ කර තිබේ.
එම වීඩියෝ ඇමතුමේදී රුචිකා ඔහුට දැඩි ලෙස දොස් පවරා ණයට දුන් මුදල නැවත ඉල්ලා ඇත. ඉන් අනතුරුව, පස්වරු 3:30ට පමණ රුචිකා විසින් මුකේෂ් වෙත හඬ පණිවිඩයක් යවා තිබේ. එම පණිවිඩයේ, මුදල් ආපසු ලබා නොගෙන තමන් නොනවතින බවත්, ඔහුගේ නිවසට පැමිණ ඔහුගේ පියා ඉදිරියේ ඔහුව අපහසුතාවයට පත් කරන බවත් රුචිකා පවසා තිබුණි. ලාජ්පත් නගර් පොලීසියට රුචිකාගේ ජංගම දුරකථනයෙන් මෙම හඬ පණිවිඩය හමුවී ඇත. මෙම පණිවිඩයෙන් දැඩි ලෙස කුපිත වූ මුකේෂ්, තම ස්වාමිදුව වූ රුචිකාව ඝාතනය කිරීමට තීරණය කර තිබේ. ඔහු සිය නිවසේ සිටම තියුණු, විශාල පිහියක් රැගෙන පැමිණ ඇත.
සැකකාර මුකේෂ් රාත්‍රී 7:27ට ව්‍යාපාරික කුල්දීප් සේවානිගේ නිවසට ඇතුළු වී ඇති අතර, මව සහ පුතු ඝාතනය කිරීමෙන් පසු රාත්‍රී 7:48ට නිවසින් පිටව ගොස් ඇත. ඔහු විනාඩි 21ක් ඇතුළත මෙම ඝාතන සිදුකර ඇත. එතැනින් කෙළින්ම අමර් කොලනියේ පිහිටි තම කාමරයට ගිය ඔහු, එහිදී ඇඳුම් මාරු කර බෑගයක්ද රැගෙන තෙරෝද රථයකින් නව දිල්ලි දුම්රිය ස්ථානය වෙත පලා ගොස් ඇත.
අපරාධය සිදු වූ අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් ඔහු අමර් කොලනියේ නිවසක වහලක් මතට වීසි කර තිබිණි.
සැකකාර මුකේෂ් පවසා ඇත්තේ බදාදා සවස 6:48ට පමණ තමන් ව්‍යාපාරිකයාගේ නිවසට ගිය බවයි. නිවස පහළ ස්කූටරය නවතා නොතිබූ බැවින්, රුචිකා නිවසේ නොමැති බව ඔහු තේරුම් ගෙන ඇත. සාමාන්‍යයෙන් රුචිකා වෙළඳසැලේ සිට වේලාසනින් නිවසට පැමිණෙන බව ඔහු දැන සිටියේය. සිද්ධිය වූ දිනයේ දතක වේදනාවක් හේතුවෙන් රුචිකා වෛද්‍යවරයකු හමුවීමට ගොස් තිබිණි. රුචිකා රාත්‍රී 7:27ට නිවසට පැමිණි අතර, ඇයව දුටු මුකේෂ් දෙවන මහලට ගොස් ඇත. රුචිකා නිවසට ඇතුළු වූ පසු, ඔහු දොර සීනුව නාද කර පානය කිරීමට ජලය ඉල්ලා තිබේ. රුචිකා ඔහුට වතුර බෝතලයක් ගෙනැවිත් දී ඇත.
පොලිස් නිලධාරීන්ට අනුව, රුචිකා ඔහුට ජලය දෙන අතරතුරදීද, 'රාජකාරියට එන්නේ නැහැ, ඒත් මූණ පෙන්නන්න මෙහෙට එනවා' යැයි පවසමින් දොස් නගා තිබේ. ජලය ලබාදී රුචිකා මුළුතැන්ගෙය වෙත යාමට හැරුණු වහාම, ඔහුද ඇය පසුපස ගොස් පිටුපසින් අල්ලාගෙන තිබේ. පසුව ඔහු ඇගේ ගෙල කපා ඝාතනය කර ඇත. කෙසේ වෙතත්, රුචිකා ඔහුට දැඩි ලෙස විරෝධය පා තිබිණි.
පොලිස් නිලධාරීන්ට අනුව, පුත් ක්‍රිෂ්, මුකේෂ් සිය මව ඝාතනය කරනු දැක ඇත. ඔහු කෑගසමින් පඩිපෙළ දිගේ පහළට දිව ගියද, මුකේෂ් ඔහුව අල්ලා නැවත නිවස තුළට ගෙන ගොස් ඇත. එම අවස්ථාවේදී ක්‍රිෂ්ගේ කෑගැසීම කිසිදු අසල්වැසියෙකුට ඇසී නැත. පසුව ඔහු ක්‍රිෂ්ව නාන කාමරයට රැගෙන ගොස් එකම පහරකින් ඔහුගේ ගෙලද කපා දමා තිබේ.
මෙම සිදුවීම ගැන තවදුරටත් විමර්ශන සිදුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.



Comments
Post a Comment
Your comment will be visible after approval