
මුහුණු පොතේ පළවූ ව්‍යාජ දැන්වීමකට අනුව යතුරුපැදියක් මිලදී ගැනීමට ගිය තරුණයින් දෙදෙනෙකුගෙන් රුපියල් 165,000ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකුගේ බිරිඳ දෙනියාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොල්ලකන ලද මුදල්වලින් කොටසක් සහ එම මුදලින් මිලදී ගත් නව ජංගම දුරකථනයක්ද ඇය සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇත.
දෙනියාය, මෙදේරිපිටිය ප්‍රදේශයේ යතුරුපැදි දෙකක් විකිණීමට ඇති බවට මුහුණු පොතේ පළකර තිබූ දැන්වීමක් දුටු කොළඹ, කඩවත ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු, ඉන් එක් යතුරුපැදියක් මිලදී ගැනීමේ අරමුණින් දෙනියාය, කෑරල්ගොඩ ප්‍රදේශයට පැමිණ තිබේ.
රාත්‍රී කාලයේදී ඔවුන්ව එම ස්ථානයට ගෙන්වා ගත් සැකකරු, ඔවුන් සතුව තිබූ මුදල කොල්ලකා පළාගොස් ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑරල්ගොඩ ප්‍රදේශයේම පදිංචි 41 හැවිරිදි කාන්තාවකි. ඇය කොල්ලය සිදුකළ ප්‍රධාන සැකකරුගේ බිරිඳ බව පොලීසිය තහවුරු කරගෙන තිබේ.
දෙනියාය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අමරරත්න මහතා සඳහන් කළේ, කොල්ලය සිදුකළ 41 හැවිරිදි ප්‍රධාන සැකකරු හඳුනාගෙන ඇති බවයි. ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිටින අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval