
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ලංකා සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චි යන මහත්වරුන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කරමින්, අද (21) දින කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදීම සිදුකෙරිණි.
2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේදී, ලංකා සතොස ආයතනය හරහා කැරම් සහ දාම් ලෑලි ආනයනය කර, ඒවා ක්‍රීඩා සමාජ වෙත බෙදා දෙමින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කළ බවට මෙම අධිචෝදනා මගින් චෝදනා එල්ල වී තිබේ.
අධිචෝදනා භාරදීමෙන් අනතුරුව, විත්තිකරුවන් තිදෙනාම ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේය.
කෙසේ වෙතත්, මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් මෙම නඩුවේම ආනයනය සම්බන්ධ වරද සඳහා දැනටමත් සිරදඬුවම් විඳිමින් සිටින හෙයින්,
ඔවුන් මීළඟ නඩු විභාග දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.
2015 ජනාධිපතිවරණ සමයේ ක්‍රීඩා උපකරණ ආනයනය කිරීමේ සිද්ධියකට අදාළව, පසුගිය මැයි මස 29 වන දින කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වසර 20ක සහ නලින් ප්‍රනාන්දු මහතාට වසර 25ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරනු ලැබිණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කර තිබූ එම නඩුවෙන් චෝදනා කර තිබුණේ, 2014 වසරේ සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ක්‍රීඩා සමාජ වෙත බෙදාදීම සඳහා කැරම් ලෑලි 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කිරීමේදී රුපියල් මිලියන 53.1ක මුදලක් සාවද්‍ය පරිහරණය කර ඇති බවටය.
Comments
Post a Comment
Your comment will be visible after approval