illegal-jeep-deal-rohithas-daughter-arrested-to-appear-in-court-tomorrow

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර එකලස් කරන ලද ආන්දෝලනාත්මක ජීප් රථ ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොශෙල් මෙලනි අබේගුණවර්ධන මහත්මිය අත්අඩංගුවට ගෙන තිබේ. නීතිඥවරයෙකු මාර්ගයෙන් අද (30) උදෑසන පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්දන

ඒකකය වෙත භාර වීමෙන් අනතුරුව, පැය හතකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඇයව මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.



මෙම සිදුවීමට අදාළව ප්‍රධාන සැකකාරිය ලෙස සැලකෙන ඇය, නීතිවිරෝධීව ආනයනය කළ මෝටර් රථයේ තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ ලෙස ඇතුළත් කිරීමේ චෝදනාව මත විමර්ශනයට ලක්වෙමින් සිටියාය. පොලීසිය මගහරිමින් සිටි ඇයව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, හෙට (31) දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම විමර්ශනය ආරම්භ වූයේ, අදාළ ජීප් රථය පසුගිය 19 වන දා මතුගම ප්‍රදේශයේදී වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගැනීමත් සමගය. එම අවස්ථාවේ රථය පදවමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත් රසික විතාන ද අත්අඩංගුවට ගත් අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම රථය තමන් රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගෙන් සහ බෑනාගෙන් මිලදී ගත් බවට හෙළි කර තිබුණි.



ඒ අනුව, රොශෙල් අබේගුණවර්ධන මහත්මියගේ ස්වාමිපුරුෂයා වන ධනුෂ්ක වීරක්කොඩි මහතා පසුගිය 24 වන දා මතුගම අධිකරණයට භාර වීමෙන් පසු අගෝස්තු මස 01 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. එදිනම, මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.