ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවක්, කොන්දේසි විරහිතව කනගාටුව ප්‍රකාශ කරමින් සමථයකට පත්කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද (29) කොළඹ දිසා අධිකරණය හමුවේදී කටයුතු කළේය.
පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේදී, අනුර කුමාර දිසානායක මහතා මෝල්ටා රාජ්‍යයේ මුදල් ආයෝජනය කර ඇති බවට තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් ප්‍රකාශයක් සිදුකර තිබුණි. එම ප්‍රකාශය සිය කීර්තිනාමයට හානිකර බව පවසමින් ජනාධිපති දිසානායක මහතා රුපියල් බිලියන 10ක දැවැන්ත වන්දියක් ඉල්ලා මෙම නඩුව ගොනුකර තිබිණි.
අද දින නඩුව කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, තිස්ස කුට්ටිආරච්චි මහතා සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේ අදාළ ප්‍රකාශය නිසි කරුණු තහවුරු කර ගැනීමකින් තොරව සිදුකළ බවයි. එම ප්‍රකාශය හේතුවෙන් ජනාධිපතිවරයාට යම් හානියක් සිදුවූයේ නම්, ඒ පිළිබඳව කොන්දේසි විරහිතව සිය කනගාටුව ප්‍රකාශ කරන බවද ඔහු සඳහන් කළේය.
මෙම දැනුම්දීමෙන් අනතුරුව, දෙපාර්ශවයම නඩුව තවදුරටත් ඉදිරියට ගෙන නොයෑමට එකඟතාව පළ කිරීම නිසා නඩුව සමථයකට පත් කිරීමට අධිකරණය කටයුතු කළේය. අධිකරණයේදී අදහස් දැක්වූ තිස්ස කුට්ටිආරච්චි මහතා, මැතිවරණ සමයේදී කුමක් ප්‍රකාශ කළද අනුර කුමාර දිසානායක මහතා මේ වන විට රටේ බහුතර ජනතාවගේ කැමැත්තෙන් ජනාධිපති ධුරයට පත්ව සිටින බවද පිළිගත්තේය.
Comments
Post a Comment
Your comment will be visible after approval