hudson-withdraws-defamation-case-against-premakeerthi-after-wife-dies

 ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තමා වෙත අපහාසයක් සිදු කළ බව පවසමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඩ්සන් සමරසිංහ මහතා විසින් ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ බිරිඳ වූ නිර්මලා ද අල්විස් මහත්මියට එරෙහිව ගොනු කර තිබූ රුපියල් මිලියන 500ක වන්දි නඩුව,

විත්තිකාරියගේ අභාවය හේතුවෙන් ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශ්වය තීරණය කර තිබේ. ඒ අනුව, කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා විසින් එම නඩු කටයුතු අවසන් කිරීමට පෙරේදා (25) නියෝග කරන ලදී.



මෙම නඩුවට පදනම් වී තිබුණේ 2014 වසරේ ජූලි මස 31 වන දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ පැවති ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ 25 වන ගුණ සැමරුම් උත්සවයේදී නිර්මලා ද අල්විස් මහත්මිය විසින් සිදු කරන ලද ප්‍රකාශයකි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමතමින් ඇය,

"ජනාධිපතිතුමෙනි, ප්‍රේමකීර්ති ද අල්විස්ගේ ඝාතකයා ඉන්නේ ඔබතුමාගේ ඔඩොක්කුවේ," යනුවෙන් ප්‍රකාශ කළ බවත්, එම ප්‍රකාශය උපුටා දක්වමින් 2014 අගෝස්තු 03 වන දින පුවත්පතක් මගින් සිය සැමියාගේ ඝාතකයා හඩ්සන් සමරසිංහ බවට ඇය චෝදනා කරන බවට අර්ථ ගැන්වෙන පුවතක් පළ කිරීමෙන් සිය කීර්තිනාමයට බරපතල හානියක් සිදුවූ බවත් හඩ්සන් සමරසිංහ මහතා සිය පෙත්සම මගින් අධිකරණයට දන්වා තිබිණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයකු ලෙස තමා රට තුළ ගොඩනගාගත් කීර්තියට මෙම සිදුවීමෙන් විශාල අපහාසයක් වූ බව පවසමින් හඩ්සන් සමරසිංහ මහතා විසින් 2014 ඔක්තෝබර් 23 වන දින මෙම වන්දි නඩුව ගොනු කරන ලදී. නඩුව ඉල්ලා අස්කර ගන්නා අවස්ථාව වන විට පෙත්සම්කරු විසින් සිය මූලික සාක්ෂිය ලබා දී තිබූ අතර, පසුගිය 18 වන දා විත්තියේ හරස් ප්‍රශ්න විමසීම සඳහා නඩුව පෙරේදා (25) දිනට කල් තබා තිබුණි.

නඩුව කැඳවූ අවස්ථාවේදී, පෙත්සම්කාර හඩ්සන් සමරසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මාධව රූපසිංහ මහතා,

විත්තිකාර නිර්මලා ද අල්විස් මහත්මිය මියගොස් ඇති බැවින් නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බව අධිකරණයට දැනුම් දුන්නේය. විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නවෝද්‍යා ගමගේ මෙනෙවිය එම ඉල්ලීමට විරුද්ධත්වයක් නොදැක්වීමෙන් අනතුරුව, නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් දිසා විනිසුරුවරයා නඩු කටයුතු අවසන් කළේය.