forty-tons-of-goods-ordered-online-are-stuck-at-customs

 මාර්ගගත ක්‍රමයට විදෙස් වෙබ් අඩවි හරහා භාණ්ඩ ඇණවුම් කිරීමේදී පැවති බදු ක්‍රමය වෙනස් කර, එක් එක් භාණ්ඩය සඳහා අදාළ එච්.එස්. කේතය (HS Code) අනුව බදු අය කිරීමට රේගුව ගෙන ඇති තීරණයත් සමඟ උද්ගතවූ සංකීර්ණතා හේතුවෙන් පාරිභෝගිකයන් විසින් ගෙන්වන ලද භාණ්ඩ පාර්සල් ටොන් 40ක් පමණ

ගබඩාවල සිරවී ඇති බව කුරියර් සේවා සංගම් පවසයි. සීදුව සහ කටුනායක පිහිටි ගබඩාවල මෙම පාර්සල් තොග ගොඩගැසී ඇත්තේ නව බදු ක්‍රමය යටතේ භාණ්ඩ නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියේ පවතින අපැහැදිලිතාවන් සහ ප්‍රමාදයන් නිසා බව ශ්‍රී ලංකා කුරියර් එක්ස්ප්‍රස් පාර්සල් සංගමයේ උප සභාපති සජේ සමරසිංහ මහතා පෙන්වා දෙයි.

මෙම නව බදු ක්‍රමය හඳුන්වා දීමට මූලික හේතුව ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කරන්නේ, ඇතැම් ව්‍යාපාරිකයන් පෞද්ගලික පරිභෝජනය සඳහා භාණ්ඩ ගෙන්වන මුවාවෙන්, බදු රහිතව හෝ අවම බද්දක් යටතේ විශාල වශයෙන් භාණ්ඩ ආනයනය කර ඒවා තෙවැනි පාර්ශ්වයන්ට නැවත අලෙවි කිරීමේ ජාවාරමක නිරත වීමයි.

මෙම තත්ත්වය නිසා රජයට විශාල බදු ආදායමක් අහිමි වන බැවින්, එම පාඩුව වැළැක්වීමට මෙම ක්‍රමය හඳුන්වා දුන් බව ඔහු පැහැදිලි කළේය.

මෙම තත්ත්වය කුරියර් සේවා සංගම් ද යම්තාක් දුරට පිළිගන්නා කරුණකි. මෙරටට අන්තර්ජාලය හරහා ගෙන්වන භාණ්ඩවලින් 60%ක් පමණම නැවත අලෙවි කිරීමේ අරමුණින් ගෙන්වනු ලබන බවට නිරීක්ෂණය වී ඇති බව සජේ සමරසිංහ මහතා ද සඳහන් කරයි. කෙසේ වෙතත්, මෙම ගැටලුවට විසඳුම් සෙවීමේදී, ගෝලීය වශයෙන් පිළිගත් ක්‍රම භාවිතයන් (Global Best Practices) අධ්‍යයනය කර, වඩාත් ක්‍රමවත් හා සරල බදු ක්‍රමයක් හඳුන්වා දීමට රජය පියවර ගත යුතුව තිබූ බව ඔහුගේ අදහසයි.

මේ අතර, ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන ඇවොකාටා ආයතනය යෝජනා කරන්නේ, බොහෝ සංවර්ධිත රටවල් අනුගමනය කරන, භාණ්ඩය අලෙවි කරන අවස්ථාවේදීම (Point of Sale) බදු එකතු කිරීමේ ක්‍රමවේදයකට ශ්‍රී ලංකාව ද යොමු විය යුතු බවයි. එම ක්‍රමය හරහා රේගුවේදී එච්.එස්. කේත වර්ගීකරණය වැනි සංකීර්ණ ක්‍රියාවලීන් මඟහැර, වඩාත් කාර්යක්ෂමව බදු අය කරගත හැකි බව එම ආයතනය පෙන්වා දෙයි.



මෙම ගැටලුව සම්බන්ධයෙන් පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද අදහස් පළ විය. එහිදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, රජය විසින් අලුත් නීතියක් හඳුන්වා දී නොමැති අතර, දැනටමත් පැවති නීති ක්‍රියාත්මක කිරීමක් පමණක් සිදුකර ඇති බවයි. ව්‍යාපාරික මට්ටමින් භාණ්ඩ ගෙන්වමින් බදු මඟහරින පුද්ගලයන් ඉලක්ක කර මෙම පියවර ගත් බවත්, මෙම තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මේ වන විටත් අධ්‍යයනයක් සිදුකරමින් සිටින බැවින්, අවශ්‍ය සංශෝධන සිදුකිරීමට සහ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.