former-passport-boss-pleads-guilty-to-ignoring-supreme-court-orders-on-e-visa

 විද්‍යුත් වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනාවට තමන් වරදකරු බව ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කොන්දේසි විරහිතව පිළිගෙන තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පිළිගැනීම සිදුකර ඇති අතර, ඔහුට අදාළ දඬුවම මෙම මස 24 වන දින නියම කිරීමට නියමිතව ඇත.



පසුගිය රජය සමයේදී විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයකට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම අදාළ නියෝගය නිකුත් කර තිබුණි. එම අතුරු තහනම් නියෝගය මගින් මතභේදාත්මක නව විද්‍යුත් වීසා ක්‍රමය අත්හිටුවා,

පැරණි වීසා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ කටයුතු කරන ලෙස ආගමන විගමන පාලකවරයාට දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත්, අධිකරණ නියෝගය නිකුත් කර මාසයකට අධික කාලයක් ගතවී තිබියදීත් ආගමන විගමන පාලකවරයා එය චේතාන්විතව පැහැර හැර ඇති බවට පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ එම්.ඒ. සුමන්තිරන් යන පෙත්සම්කාර පාර්ශ්වය පසුගිය වසරේ සැප්තැම්බර් මස 13 වන දින මෝසමක් මගින් අධිකරණයට දන්වා සිටියේය.

එම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, ආගමන විගමන පාලකවරයා අධිකරණ නියෝගය හිතාමතා නොසලකා හැර ඇති බවට බැලූ බැල්මට පෙනී යන බැවින්, ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙස පෙත්සම්කරුවන්ට නියම කළේය. එම නියෝගයට අනුව චෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී ඔහුට කියවා දීමෙන් අනතුරුව, නීතියේ ආධිපත්‍ය සුරැකීමේ වැදගත්කම අවධාරණය කරමින් විනිසුරු මඩුල්ල විසින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.