සෞඛ්‍ය, පෝෂණ සහ සුබසාධන අමාත්‍යවරයා ලෙස 2001 සිට 2004 වසර දක්වා කාලය තුළ කටයුතු කළ අමාත්‍ය පී. දයාරත්න අභාවප්‍රාප්ත වී ඇත.
ඔහු 1977 මහ මැතිවරණයෙන් අම්පාර ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, 1994, 2000, 2001, 2004 සහ 2010 වසරවලදී ද නැවත තේරී පත් විය. ඔහු මියයන විට වයස අවුරුදු 89ක් විය.
පෙටිකිරිගේ දයාරත්න මහතා 1936 ඔක්තෝබර් 1 වන දින කළුතර දිස්ත්‍රික්කයේ ගොඩිගමුව ග්‍රාමයේ පිහිටි සිය මවගේ මහ ගෙදරදී උපත ලැබීය. ඒ මහතා, මූලික අධ්‍යාපනය ලැබුවේ සිය උපන් ගමේ පාසලෙනි. අනතුරුව 1947 වසරේදී ද්විතීයික අධ්‍යාපනය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් විය. 1961 දී වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයේ බ්‍රයිටන් කාර්මික විද්‍යාලයට ඇතුළත් වූ ඔහු, 1965 දී විදුලි ඉංජිනේරුවරයෙකු ලෙස සුදුසුකම් ලබා එම වසරේම අප්‍රේල් 23 වන දින නැවත සියරට පැමිණියේය.
1965 මැයි 17 වන දින අම්පාරේ ස්ථානගතව, ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ සහකාර විදුලි ඉංජිනේරුවරයෙකු ලෙස රාජ්‍ය සේවයට එක්විය.
1970 මහ මැතිවරණයේදී රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වූ දයාරත්න මහතා එක්සත් ජාතික පක්ෂය යටතේ අම්පාර ආසනය සඳහා තරඟ කළ නමුත්, ප්‍රබල වාමාංශික අපේක්ෂකයෙකු වූ සෝමරත්න සෙනරත් මහතා හමුවේ පරාජයට පත්විය. කෙසේ වෙතත්, එවක එක්සත් ජාතික පක්ෂ නායක ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආශිර්වාදය ඇතිව 1977 මහ මැතිවරණයට නැවතත් අම්පාර ආසනයට තරඟ කළ ඔහු, ඡන්ද 8,000 ක වැඩි බහුතරයක් ලබා ගනිමින් එම ආසනය සඳහා එක්සත් ජාතික පක්ෂයට ප්‍රථම වරට ජයග්‍රහණයක් වාර්තා කළේය.
මෙම ජයග්‍රහණයෙන් පසු ඔහුගේ දේශපාලන දිවියේ ඉහළ නැගීමක් සනිටුහන් විය. 1978 ඔක්තෝම්බර් මාසයේදී අම්පාර සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා ලෙස පත් වූ ඔහු, 1981 දී විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා බවටත්, 1987 දී එම විෂය භාර කැබිනට් අමාත්‍යවරයා බවටත් පත් විය. 1989 පෙබරවාරි මාසයේදී ඉඩම්, වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන අමාත්‍ය ධුරයත්, 1991 අප්‍රේල් මාසයේදී පුනරුත්ථාපන, සහ සමාජ සුබසාධන අමාත්‍ය ධුරයත් ඔහුට හිමිවිය.
1994 දී එක්සත් ජාතික පක්ෂය බලයෙන් ඉවත් වුවද, අම්පාර දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රීවරයෙකු ලෙස දයාරත්න මහතා නැවත තේරී පත් විය. ඉන් පසුව 2000, 2001, 2004 සහ 2010 යන වසරවල පැවති මැතිවරණවලදී ද ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර, එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව යටතේ සෞඛ්‍ය, පෝෂණ හා සුබසාධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. 2007 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා තවත් මන්ත්‍රීවරුන් 17 දෙනෙකු සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වූ ඔහු, 2015 දී නැවත එක්සත් ජාතික පක්ෂය හා එක් විය. පෞද්ගලික දිවියේදී, දයාරත්න මහතා 1971 ජුනි 2 වන දින දීප්තිකා දයාරත්න මහත්මිය සමඟ විවාහ වූ අතර, එම යුවළට දරුවන් තිදෙනෙකි.
Comments
Post a Comment
Your comment will be visible after approval