former-minister-lakshman-yapa-indicted-for-placing-newspaper-advertisements-from-irrelevant-budgets

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය සැමරීම සඳහා ආයෝජන මණ්ඩලයේ මුදලින් පුවත්පත් දැන්වීම් පළ කර

රජයට රුපියල් මිලියන 1.7ක පාඩුවක් සිදුකළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇත. අධිචෝදනා පත්‍ර භාර දීමෙන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා නියෝග කළේය.



මෙම සිදුවීම මීට වසර 11කට පෙර, එනම් 2014 වසරේ ඔක්තෝබර් 01 සහ දෙසැම්බර් 12 අතර කාලය තුළ සිදුවී ඇති බවට අල්ලස් කොමිසම අධිකරණයට දන්වා ඇත. ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සමඟ මෙලෙස චෝදනා ලබා ඇත්තේ ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ මහතාය. විත්තිකරුවන් දෙදෙනා එක්ව කුමන්ත්‍රණය කර, 2014 නොවැම්බර් 19 වන දින සිංහල සහ ඉංග්‍රීසි ජාතික පුවත්පත් 11ක දැන්වීම් පළ කිරීම සඳහා ආයෝජන මණ්ඩලයේ අරමුදල් යොදවා ඇති බවත්, එමඟින් රජයට රුපියල් 1,748,877ක මූල්‍ය පාඩුවක් සිදු කර ඇති බවත් චෝදනා පත්‍රයේ සඳහන් වේ.



අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා ඇත්තේ අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ එන 'දූෂණය' නැමති වරද සම්බන්ධයෙනි. විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් 15 දෙනෙකු සහ ලේඛන 21ක් නම් කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

අධිකරණයේ සිතාසි මත පෙනී සිටි විත්තිකරුවන් දෙදෙනාට විවෘත අධිකරණයේදී අධිචෝදනා පත්‍ර භාර දෙන ලදී. එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා, එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරීමට නියම කළේය. නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පැවැත්වීම සඳහා අගෝස්තු 20 වන දින නැවත නඩුව කැඳවීමටද තීරණය කෙරිණි.