former-constables-necklaces-theft

 යතුරුපැදිවලින් ගමන් ගන්නා කාන්තාවන්ගේ රන් මාල සහ අත්පලදනා කොල්ලකා පලා යෑමේ නිරතව සිටි බව කියන කණ්ඩායමක හිටපු පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු යතුරුපැදියක් සමගින් අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.






අතුරුගිරිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක ප්‍රේමලාල් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් රාත්‍රී කාලයේ අපරාධ ආවේක්ෂණ කටයුතුවල නිරතව සිටියදී ඉදිරිපස සහ පිටුපස අංක තහඩු වෙනස් යතුරුපැදියක සිටි දෙදෙනකු පරික්ෂා කර ඇත. ඔවුන් සන්තකයේ හෙරොයින් මත්ද්‍රව්‍ය තිබී හමුවී ඇති බව පොලිසිය කියයි.


ඒ අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින හතක කාලයක් රැඳවුම් නියෝග ලබාගෙන එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී කළ කොල්ලකෑම් පිළිබඳව අනාවරණය වූ බවද පොලිසිය පවසයි. ඒ අනුව අතුරුගිරිය, කඩුවෙල, කිරිඳිවැල, ොට්ටාව සහ මුල්ලේරියාව යන පොලිස් බල ප්‍රදේශවලදී සිදු කළ කොල්ලකෑම් පිළිබඳව අනාවරණය වී ඇති අතර එම සිද්ධීන්වලදී කොල්ලකෑ රුපියල් ලක්ෂ විසිපහක් පමණ වටිනා රත්රන් භාණ්ඩ උකස් කර තිබියදී සොයා ගැනීමට හැකිවූ බවද පොලිසිය පවසයි.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු පොලිස් කොස්තාපල්වරයකු වන දෙල්ගොඩ, අළුබෝවිල ප්‍රදේශයේ පදිංචි 41 ක් හැවිරිදි පුද්ගලයකු සමග දෙල්ගොඩ, කඳුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 26 හැවිරිදි රියැදුරකු සහ දෙල්ගොඩ, පනන්වල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පිංතාරුකරුවෙකි. සැකකරුවන් අතරින් එක්   සැකකරුවකුට දිවයිනේ විවිධ ප්‍රදේශ වල අධිකරණවලින් වරෙන්තු හයක් නිකුත් කර ඇති බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවෝ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති.