නැගී එන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ආකාශ් දීප් එංගලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේදී දක්ෂ පන්දු යැවීමක නිරත විය. ඔහුගේ කැපී පෙනෙන දක්ෂතා නිසා ඔහු ගැන විස්තර ඉන්දීය මාධ්‍ය තුළ පළව ඇති අතර ඔහුගේ ජීවිතයේ සිදුවූ අසාමාන්‍ය වෙනස්කම් ගැනද වාර්තා පළ කර තිබේ.අද වන විට දක්ෂ පන්දු යවන්නෙකු බවට පත්ව සිටින ආකාශ් දීප්ගේ ජීවිතය දුෂ්කරතාවලින් පිරී තිබුණි.
බර්මින්හැම් ටෙස්ට් තරගයේදී එංගලන්ත පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ ඉන්දීය වේග පන්දු යවන්නෙකු වන ආකාශ් දීප්, තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය සඳහා ජස්ප්‍රීත් බුම්රා වෙනුවට ක්‍රීඩා කරන එකොළොස් දෙනාගේ කණ්ඩායමට කැඳවා තිබුණි. මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ආකාශ් දීප්, පළමු ඉනිමේදී කඩුලු 4ක් දවා ගත්තේය. දෙවැනි ඉනිමේදී ද ඔහු වැදගත් කඩුලු කිහිපයක් දවා ගැනීමට සමත් විය.
අද ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල පන්දු යවන්නෙකු ලෙස නැගී සිටින ආකාශ් දීප්ගේ ජීවිතයේ, මාස හයක කෙටි කාලයක් තුළ සිය පියා සහ වැඩිමහල් සොහොයුරා යන දෙදෙනාම අහිමි වූ කාල පරිච්ඡේදයක් ද තිබුණි.
ආකාශ් දීප් බිහාර් ප්‍රාන්තයේ සසරාම් නගරයේ උපන් අයෙකි. තම ක්‍රිකට් දිවිය සඳහා පියාගේ සහයෝගය නොලැබුණු බව ආකාශ් මීට පෙර හෙළි කර තිබුණි. "මගේ තාත්තා මම ක්‍රිකට් ක්‍රීඩා කරනවාට කොහෙත්ම කැමති වුණේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩා කිරීම අපරාධයක් වගෙයි ඔහු හිතුවේ. මම එන පසුබිම අනුව, ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයක් ගැන හොඳ ආකල්පයක් තිබුණේ නැහැ," යනුවෙන් ආකාශ් පවසා තිබුණි. ආකාශ්ගේ පියා විශ්වාස කළේ තම පුත්‍රයා රජයේ රැකියාවක් සඳහා වන විභාග කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.
එබැවින්, මෙම ඉන්දීය වේග පන්දු යවන්නා එකල රහසින් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පුරුදුව සිටියේය.
2015 වසර, ආකාශ් දීප්ගේ ජීවිතයේ වඩාත්ම දුෂ්කර කාල පරිච්ඡේදය ලෙස හැඳින්විය හැකිය. අංශභාග රෝගය වැළඳීම හේතුවෙන් ඔහුගේ පියා අභාවප්‍රාප්ත විය. එම වසරේදීම, වාරාණසී නුවර රෝහලකට රැගෙන යමින් සිටියදී ආකාශ්ගේ වැඩිමහල් සොහොයුරා ද මෙලොව හැර ගියේය. එම සොයුරා අත ඉවත් කිරීමේ සැත්කමකටද මුහුණදී තිබුණි.මෙම දුෂ්කර තත්ත්වයන් යටතේ ආකාශ් වසර 3ක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටි නමුත්, බටහිර බෙංගාලයේ දුර්ගාපූර් වෙත පැමිණීමෙන් පසු ඔහු පිතිකරුවෙකුගේ සිට පන්දු යවන්නෙකු දක්වා වූ සිය ගමන ආරම්භ කළේය. ආකාශ් දීප් මේ දක්වා තරග 38කින් සමන්විත සිය පළමු පෙළ ක්‍රිකට් දිවියේදී කඩුලු 128ක් දවාගෙන තිබේ.
BOWLING
| Format | Mat | Inns | Balls | Runs | Wkts | BBI | BBM | Ave | Econ | SR | 4w | 5w | 10w |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Tests | 7 | 12 | 881 | 528 | 15 | 3/83 | 3/63 | 35.20 | 3.59 | 58.7 | 0 | 0 | 0 |
| FC | 38 | 63 | 5979 | 3097 | 128 | 6/60 | 10/112 | 24.19 | 3.10 | 46.7 | 8 | 5 | 1 |
| List A | 28 | 28 | 1280 | 1029 | 42 | 3/6 | 3/6 | 24.50 | 4.82 | 30.4 | 0 | 0 | 0 |
| T20s | 48 | 48 | 1008 | 1379 | 52 | 4/35 | 4/35 | 26.51 | 8.20 | 19.3 | 1 | 0 | 0 |
BATTING & FIELDING
| Format | Mat | Inns | NO | Runs | HS | Ave | BF | SR | 100s | 50s | 4s | 6s | Ct | St |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Tests | 7 | 10 | 0 | 83 | 31 | 8.30 | 168 | 49.40 | 0 | 0 | 7 | 5 | 1 | 0 |
| FC | 38 | 50 | 3 | 560 | 53* | 11.91 | 782 | 71.61 | 0 | 1 | 39 | 42 | 15 | 0 |
| List A | 28 | 16 | 5 | 140 | 44 | 12.72 | 120 | 116.66 | 0 | 0 | 7 | 11 | 4 | 0 |
| T20s | 48 | 16 | 8 | 84 | 17 | 10.50 | 56 | 150.00 | 0 | 0 | 6 | 5 | 10 | 0 |