පාතාල නායකයෙකු වන 'කෙහෙල්බද්දර පද්මේ' ලෙස පෙනී සිටිමින්, ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ දේශපාලනඥයන්ට එල්ල වූ මරණ තර්ජන මාලාව 'ප්‍රබන්ධ කළ' දේශපාලන කුමන්ත්‍රණයක් විය හැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැක පළ කරමින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම සිදුවීමට අදාළව ඩුබායි රාජ්‍යයේ සිට දුරකථන ඇමතුම් ලබා දුන් බව කියන ප්‍රධාන සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම කුමන්ත්‍රණයේ සුලමුල හෙළිවී ඇත. සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පාපොච්චාරණයකට අනුව, තර්ජන කළ යුතු ඉහළ පොලිස් නිලධාරීන්ගේ සහ දේශපාලනඥයන්ගේ දුරකථන අංක ලබාදෙමින් ඒ සඳහා උපදෙස් දී ඇත්තේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා බව අනාවරණය වී තිබේ.
විමර්ශනවලදී තවදුරටත් හෙළි වී ඇත්තේ, ප්‍රියන්ත ජයකොඩි මහතා පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයකට සම්බන්ධ පොලිස් සංගමයක සක්‍රීයව කටයුතු කරන බවයි. වර්තමානයේ ආරක්ෂක අංශවල බොහෝ විශ්‍රාමික නිලධාරීන් දේශපාලන පක්ෂ සමඟ එක්ව කටයුතු කිරීමේ පසුබිමක් තුළ, මෙම තර්ජන කිරීම් පිටුපස දේශපාලන අරමුණක් පවතින්නේද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැඹුරින් විමර්ශනය කරමින් සිටී.

