ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද BYD සන්නාමයේ විද්‍යුත් මෝටර් රථ තොගයක මෝටර් බලය සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා රේගුව විසින් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙම ආන්දෝලනාත්මක තත්ත්වය හේතුවෙන් කොළඹ වරායේදී BYD රථ 1000කට ආසන්න ප්‍රමාණයක් රේගු භාරයේ රඳවාගෙන ඇති බව වාර්තා වේ.
මෙහිදී මූලික ගැටලුව වී ඇත්තේ ආනයනය කරන ලද වාහනවල සැබෑ කිලෝවොට් ධාරිතාවයයි. කිලෝවොට් 150ක මෝටර් බලයකින් යුත් වාහන, කිලෝවොට් 100 වාහන ලෙස වර්ගීකරණය කර, අඩු බදු මුදලක් ගෙවා රේගුවෙන් නිදහස් කර ගැනීමට උත්සාහ කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. කිලෝවොට් 100 වාහනයක් සඳහා රුපියල් මිලියන 2.4ක බද්දක් අය කෙරෙන අතර, කිලෝවොට් 150 වාහනයක් සඳහා ගෙවිය යුතු බදු මුදල රුපියල් මිලියන 5.4ක් වීම නිසා මෙහිදී රජයට විශාල බදු ආදායමක් අහිමි වීමේ අවදානමක් පවතී.
මෙම වාහන ආනයනය කරන ලද, ශ්‍රී ලංකාවේ නිල නියෝජිතයා වන ජෝන් කීල්ස් සීජී ඔටෝ (පුද්ගලික) සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තමන් චීනයේ BYD සමාගමෙන් සෘජුවම ආනයනය කළේ කිලෝවොට් 100 මාදිලියේ වාහන බවයි. එම වාහන සිංගප්පූරුව වැනි නියාමනය කරන ලද වෙළෙඳපොළවලට සපයන මාදිලිවලට සමාන බවත්, සියලුම දේශීය රෙගුලාසිවලට අනුකූලව, පූර්ණ විනිවිදභාවයකින් යුතුව මෙම ගෙන්වීම සිදුකළ බවත් එම සමාගම අවධාරණය කරයි.
කෙසේ වෙතත්, රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ කරුණු පැහැදිලි කළ රේගු ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සීවාලි අරුක්ගොඩ මහතා සඳහන් කළේ, මෙම විමර්ශනයට අදාළ ආනයනකරු වන ජෝන් කීල්ස් සමාගමෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබීම හේතුවෙන් පරීක්ෂණ ප්‍රමාද වෙමින් පවතින බවයි. වාහනවල මෝටරය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව දැනුම් දුන් විට, එය දීර්ඝ ක්‍රියාවලියක් බව සමාගම පවසන බවද ඒ මහතා කියා සිටියේය.
වාහනවල මෘදුකාංග වෙනස් කර සැබෑ ධාරිතාව වසන් කර ඇත්දැයි යන්න පිළිබඳවද රේගුව විමර්ශනය කරයි.
මෙම වාහනවල තාක්ෂණික පිරිවිතර තහවුරු කර ගැනීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ සහාය ලබා ගැනීමට රේගුව අපේක්ෂා කරයි. මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා ද මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කර තිබූ අතර, ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ මේ වන විටත් මෙවැනි වාහන 1000ක් පමණ වෙළෙඳපොළට නිදහස් කර ඇති බවයි.
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ මෙම පරීක්ෂණය විදේශීය නිෂ්පාදකයෙකු සම්බන්ධ කාරණයක් බැවින්, එහි විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදුකිරීමේ වැදගත්කමයි. ඕනෑම ගැටලුවක් නිරාකරණය කරගැනීම සඳහා අදාළ නියාමන අධිකාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව ජෝන් කීල්ස් සමාගම වැඩිදුරටත් තහවුරු කර තිබේ.
ශ්‍රී ලංකාවට BYD සන්නාමයේ විද්‍යුත් මෝටර් රථ වාසිදායි මිල ගණන් යටතේ ආනයනය කිරීම නිසා 'වාහන සේල්' හිමියන්ගේ මාෆියාව ඇද වැටෙමින් පවතින පසුබිමක ඊට බාධා පැමිණවීමට මෙවැනි ගැටලුවක් නිර්මාණය කරවා ඇති බවට සමාජ මාධ්‍ය තුළ විවේචන පවතී.
ඇතැමුන් පෙන්වා දෙන්නේ සිංගප්පූරුවේ හා නේපාලයේ වෙළෙඳ පොළට සෘජුවම මේ ආකාරයට කිලොවොට් 100 වාහන නිර්මාණය කර අපනයනය කිරීමට චීන සමාගම කටයුතු කර ඇති මුත් එම රටවල් මේ ආකාර ප්‍රශ්න මතුකර නැති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval