dr-maheshi-wijeratne-released-on-strict-bail-conditions

 ශල්‍ය උපකරණ රෝගීන්ට ඉහළ මිලකට අලෙවි කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ. 





කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය විසින් ජූලි 15 වන දින මෙම ඇප නියෝගය නිකුත් කරන ලදී. ඒ අනුව, රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප තුනක් මත සැකකාරිය මුදා හැරිණි. මීට අමතරව, ඇයට ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයට ඇතුළුවීම සහ විදෙස් ගතවීම ද අධිකරණ නියෝග මගින් තහනම් කර ඇත.

මෙම විශේෂඥ වෛද්‍යවරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ස්නායු ශල්‍යකර්ම සඳහා අත්‍යවශ්‍ය වන EVD සහ VP SHUNT යන උපකරණ සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට අදාළවය. එම උපකරණ නිසි ක්‍රමවේදයට අනුව රෝහලේ වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර, රෝහලේ සැපයුම් අංශය මගහැර, වෛද්‍යවරියගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ පාලනය යටතේ පැවති බව කියන බාහිර ආයතනවලින් ලබාගන්නා ලෙස රෝගීන්ට උපදෙස් දීම තුළින් 'දූෂණය' නම් වරද සිදුකර ඇති බවට ඇයට චෝදනා එල්ල වී තිබේ. මෙම ක්‍රියාව හේතුවෙන් රෝගීන්ට මූල්‍යමය පාඩුවක් සිදුකර, තමාට හෝ බාහිර පාර්ශ්වයන්ට අයුතු ලාභයක් ලබාගෙන ඇති බවට චෝදනා ගොනුකර ඇත.