constable-gaja-throws-party-with-friends-in-police-lecture-hall

නවගමුව පොලිසියේ දේශන ශාලාවේ මත්පැන් සාදයක් පැවැත්වූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර ත්‍රිරෝද රථ රියැදුරකු සහ වඩු කාර්මිකයකුද වන බව පොලිසිය කියයි.




සැකකරුවන් සමග මත්පැන් පානය කර අඩක් ඉතිරි මත්පැන් භාග බෝතල් දෙකක් නැවත භාවිතයට ගත නොහැකි කෝප්ප තුනක් පොලිස් භාරයට ගෙන ඇත. පොලිසියේ තනිකඩ භට නිවාසයේ කොස්තාපල්වරයකු තවත් පුද්ගලයකු සමග දේශන ශාලාවේ මත්පැන් පානය කර බිමත්ව අශෝභනව හැසිරෙන බවට පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව

අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය කියයි. සැකකරුවන් තිදෙනා නවගමුව රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍යවරයා විසින් ඔවුන් තිදෙනාගේ කටින් මත්පැන් ගඳ වහනය වන බවට වෛද්‍ය වාර්තාවේ සටහන් වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 


අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවෝ දෙදෙනා කඩුවෙල, කොරතොට සහ රණාල, නවගමුව පදිංචිකරුවෝ වෙති. සැකකරුවෝ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති. නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලයනල් මහතාගේ උපදෙස් මත විමර්ශන සිදුකෙරේ.