people-who-paid-rs-9-million-to-cross-into-the-uk-via-india-were-caught

 කූට ලෙස සකස් කළ ප්‍රංශ සහ ස්පාඤ්ඤ ගමන් බලපත්‍ර යොදාගෙන ඉන්දියාව ඔස්සේ එක්සත් රාජධානියේ සරණාගතභාවය ලබාගැනීම සඳහා මෙරටින් පළා යෑමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයකු ඉකුත් 30 වැනිදා රාත්‍රි කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාර්න් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු මුලතිව් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි.






සැකකරු මුලින්ම ජුනි 30 වැනිදා ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් ඉන්දියාවේ මුම්බායි නුවර වෙත යෑමට සූදානම් වුවද එම ගුවන් සේවා නිලධාරීන්ට ඇති වූ සැකය මත මොහු එම ගුවන්යානයෙන් රැගෙන යෑම ප්‍රතික්ෂේප කර තිබේ. අනතුරුව මොහු යළිත් 30 වැනි දින පස්වරු 05.31ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 143 දරන ගුවන්යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර වෙත යෑමට ගුවන්යානා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන සූදානම් වී තිබේ.


ඔහු සියලුම ගුවන් සේවා නිෂ්කාශන කටයුතු නිමා කර විගමන කවුළුව වෙත පැමිණි පසු, ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරින් ඔහු පිළිබඳ ඇති වූ සැකය මත, මෙම ගුවන් ගමන පිළිබඳ ප්‍රශ්න කිරීම් කරමින්,

ඔහු සතු ගමන් මලු පරීක්ෂා කිරීම කර තිබේ. 


එහිදී ඔහුගේ ගමන් මලු තුළ සෙල්ලම් බඩු අඩංගු පෙට්ටියක් තුළ, ඉතා සූක්ෂම ආකාරයට සඟවා තිබූ, කූට ලෙස සකස් කළ ප්‍රංශ සහ ස්පාඤ්ඤ ගමන් බලපත්‍ර දෙකක් සොයා ගැනීමට හැකි වී තිබේ. තවදුරටත් මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී, තමන් රුපියල් ලක්ෂ අනූවක්, දැනටමත් ඉන්දියාවේ මුම්බායි නුවර රැඳී සිටින තැරැව්කරුවකුට ගෙවා එක්සත් රාජධානියේ සරණාගතභාවය ලබා ගැනීම සඳහා මෙසේ පලා යෑමට සැලසුම් කර කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ. ඒ අනුව වහාම අත්අඩංගුවට ගත් මොහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.