කුරුවිට, දෙවිපහළ ප්‍රදේශයේදී විසිහය හැවිරිදි තරුණියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දාහත් හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. රැකියාව නිමවී නිවස බලා යමින් සිටි ශාලිකා මධුෂානී නමැති මෙම තරුණිය ඝාතනය කර ඇත්තේ, සැකකරු විසින් සිදුකළ ප්‍රේම යෝජනාවක් ඇය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ඇතිවූ කෝපයෙන් බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
මෙම අපරාධය සිදුව ඇත්තේ පසුගිය ජූලි මස දෙවැනිදා සවස් කාලයේදීය.
කුරුවිට ප්‍රදේශයේ මැණික් කැපීමේ ආයතනයක සේවය කළ මධුෂානී, දෛනිකව සිය සේවා ස්ථානයට ගොස් නැවත නිවසට පැමිණෙන අතර, එදින දොඩංඇල්ල හන්දියෙන් බසයෙන් බැස පා ගමනින් නිවසට යමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා තිබේ. නිවාස නොමැති කැලෑබද මාර්ගයකදී මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය පවසයි.
නියමිත වේලාවට දියණිය නිවසට නොපැමිණීම නිසා සෙවීමට ගිය පියාට, ඇය ගසක් අසල මරා දමා සිටිනු දැකගැනීමට හැකිවී තිබේ. ඔහුගේ දැනුම්දීම මත ක්‍රියාත්මක වූ කුරුවිට පොලිසිය, විමර්ශන සඳහා පොලිස් නිල සුනඛයෙකුද එම ස්ථානයට ගෙන්වා ඇත. එහිදී එම සුනඛයා, අපරාධය සිදුවූ ස්ථානය අසල ගැවසෙමින් සිටි සැකකාර තරුණයා අසල නතරවීමත් සමග ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඝාතනය සිදුකළ බවට අනාවරණය විය.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු සියලු තොරතුරු පාපොච්චාරණය කර තිබේ. තමන් මියගිය තරුණියට ප්‍රේම සම්බන්ධතාවයක් සඳහා දින ගණනාවක් තිස්සේ යෝජනා කළද, ඇය එයට එකහෙළා අකමැති වූ බවත්, ඒ පිළිබඳව තීරණයක් ගැනීමේ අරමුණින් මෙම අපරාධය සැලසුම් කළ බවත් ඔහු පවසා ඇත. ඒ අනුව, සිද්ධිය වූ දින අත්වැසුම් සහ තියුණු බ්ලේඩ් තලයක් මිලදී ගෙන පැමිණ, තරුණිය එන මග රැක සිට ඇයව බලහත්කාරයෙන් කැලෑවට ඇදගෙන ගොස් ඇති බව සැකකරුගේ පාපොච්චාරණයේ සඳහන් වේ.
සැකකරු ලිංගික අතවරයක් සඳහා උත්සාහ දරා ඇති බවට පොලිසිය සැක පළ කරන අතර, කරාටේ සටන් කලාව දන්නා මධුෂානී තරුණිය එයට එරෙහිව දැඩි ලෙස සටන් කර ඇත.
එම පොරබැදීම නිසා ඇයව පාලනය කරගැනීමට අපහසු වූ සැකකරු, රැගෙන ආ තියුණු ආයුධයෙන් ඇගේ ගෙල කපා ඝාතනය කර ඇති බවට විමර්ශනවලදී හෙළි වී තිබේ. සැකකරුගේ සිරුරේ සීරීම් තුවාල සහ මියගිය තරුණිය විසින් සපා කෑමෙන් ඇතිවූ බවට සැකකෙරෙන තුවාලයක්ද අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී නිරීක්ෂණය කර ඇත.
ඝාතනයෙන් පසු සැකකරු, මියගිය තරුණිය සතුව තිබූ රන් මාලය, ජංගම දුරකථනය සහ අත්බෑගය පැහැරගෙන ගොස් තිබිණි. පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ලබාදුන් තොරතුරුවලට අනුව, එම භාණ්ඩ දොඩංඇල්ල ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගන්නා ලදී.
අත්අඩංගුවට පත් කුමාරවේලු ආකාශ් කුමාර නමැති දාහත් හැවිරිදි මෙම සැකකරු, රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 19 වැනිදා දක්වා දෙහිඕවිට ළමා නිවාසයක රඳවා තබන ලෙස නියෝග කර තිබේ. සැකකරු ඝාතනයට ලක්වූ තරුණියගේ නිවසට නුදුරින් පිහිටි වත්තක තාවකාලිකව පදිංචිව සිටි අයෙකු බවද පොලිසිය තහවුරු කරගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval