දක්ෂිණ අධිවේගී මාර්ගයේ 175 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී පසුගිය සෙනසුරාදා (27) සවස වෑන් රථයක් අනතුරට ලක්වීමෙන්, ඉතාලියේ සිට නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තිබූ අතර වැඩිදුර තොරතුරු මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.
ඊයේ (28) අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය රෝහලේදී පැවති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, වෑන් රථය අධික වේගයෙන් ධාවනය කිරීමේදී එහි පිටුපස ටයරයක් පුපුරායාමෙන් පාලනය කරගත නොහැකිව ආරක්ෂිත වැටෙහි ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අඟුණුකොළපැලැස්ස හදිසි මරණ පරීක්ෂක එම්.ආර්.ඊ.පී. රත්නායක මහතා ඉදිරියේ මියගිය ඥානවතී මහත්මියගේ බෑණනුවන් වන හේවාගමගේ සිරිවර්ධන මහතා මෙම සාක්ෂිය ලබා දුන්නේය.
ඥානවතී පුංචි අම්මා, නිලූකා නංගී, බාප්පා ඇතුළු හය දෙනෙක් වෑන් එකකින් 27 දා පාන්දර කතරගම යන්න පිටත්වුණා. හවස 5.45ට විතර චමින්ද කියලා මල්ලි කෙනෙක් කෝල් කරලා, ලොකු අයියේ දන්නවාද වැඩක්. හයිවේ එකේදී වෑන් එක හැප්පිලා පැටි අම්මයි, පොඩි දුවයි එතැනම නැතිවෙලාÓ කියලා මට කීවා යැයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ 175 කිලෝමීටර් කණුව අසල සිදුවූ රිය අනතුරින් මියගිය කාන්තාවන් දෙදෙනාගේ හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් දෙනිපිටිය, වරකාපිටිය පදිංචි හේවාගමගේ සිරිවර්ධන මහතා (අවු :50) පැවසීය.
ඉකුත් 27 දා සවස 5.30ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස් තිබුණේ දෙණිපිටිය, වරකාපිටිය පදිංචි හේවාගමගේ ඥානවතී (අවු : 69) සහ තිබ්බොටුව ගමගේ නිලූකා දමයන්ති (අවු : 49) යන විවාහක කාන්තාවන් දෙදෙනාය. මොවුන් ඉතාලියේ පදිංචිව සිට පසුගියදා නිවාඩුවක් ගත කිරීමට ලංකාවට පැමිණ ඇතැයි මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.
සාක්ෂිකරු මෙසේද පැවසීය.
“මියගොස් සිටින්නේ මගේ නංගී නිලූකා දමයන්ති සහ මගේ මවගේ නංගී (පුංචි අම්මා) ඥානවතී යන දෙදෙනායි. පුංචි අම්මලයි ගෙදර ඉකුත් 20 දා දාන පින්කමක් තිබුණා. දානය දීලා දවස් දෙකකට පස්සේ කතරගම යන්න කතා කරගත්තා. පුංචි අම්මා මගෙනුත් ඇහුවා ‘ලොකු පුතේ කතරගම යන්න එනවද’ කියලා. මගේ දරුවා ලෙඩ වෙලා නිසා එන්න බැහැ කියලා මම කිවුවා. 27 අලුයම පුංචි අම්මා, බාප්පා, මගේ නංගී නිලූකා, මගේ මාමා කෙනකුගේ දුවෙක් හා එයාගෙ දුවෙක්, රියැදුරු ඇතුළු හය දෙනකු කතරගම යන්න පිටත් වුණා. සිද්ධිය වූ දිනේ හවස 5.45ට විතර චමින්ද මල්ලි කෝල් කරලා සිදුවූ අනතුර ගැන කිවුවා. මා අනතුර සිදුවූ තැනට යන්න පාරට ආවා.
වෑන් එකේ ආපු අපේ අනෙක් කට්ටිය තුවාල වෙලා කියලා දැනගත් නිසා එයාල බලන්නයි හම්බන්තොට මහරෝහලට ගියේ. එයාලගේ සුවදුක් බලලා රෑ 12ට විතර අඟුණකොළපැලැස්ස රෝහලට ආවා. මෘතශරීරාගාරයට ගිහින් බලලා පුංචි අම්මාගේ සහ නංගිගේ දේහයන් හඳුනාගත්තා. රිය පැදවූ මහත්තයා අධික වේගයෙන් ඇවිත් වාහනයේ පිටුපස දකුණු පැත්තේ රෝදයක් පුපුරා ගොස් ආරක්ෂිත වැටේ වැදී මෙම අනතුර සිදුවන්නට ඇතැයි මා සිතනවා.”
කතරගම වන්දනාවේ යමින් සිටි හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම අනතුරට මුහුණ පා ඇති අතර, මියගිය දෙදෙනා නැන්දණිය සහ ලේලිය බවද විමර්ශනවලදී හෙළිවිය. අනතුරින් තුවාල ලැබූ සෙසු පිරිස හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මියගිය කාන්තාවන් දෙදෙනා පසුගිය 20 වනදා පැවති දಾನමය පිංකමකින් අනතුරුව මෙම කතරගම වන්දනා ගමන සැලසුම් කර ඇති බවද සාක්ෂි විභාගයේදී වැඩිදුරටත් අනාවරණය විය. අඟුණුකොළපැලැස්ස පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval