bangladeshi-police-hero-who-fought-off-manhattan-mass-murderer-who-killed-four

ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ මැන්හැටන් හි පිහිටි කාර්යාල ගොඩනැගිල්ලක, සඳුදා සවස, 27 හැවිරිදි තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. බංග්ලාදේශ සම්භවයක් සහිත මෙම නිර්භීත පොලිස් නිලධාරියා, සිය ජීවිතය පරදුවට තබමින් ප්‍රහාරකයාට මුහුණ දී තිබේ. ප්‍රහාරයෙන් අනතුරුව, ඇමරිකානු පාපන්දු ක්‍රීඩකයෙකු වූ ෂේන් ටමුරා ලෙස හඳුනාගත් මෙම තුවක්කුකරු සිය දිවි නසාගෙන ඇත.



මෙම ප්‍රහාරකයා, හවායි ප්‍රාන්තයේ උපත ලබා පසුව ලාස් වේගාස් හි පදිංචියට ගිය 27 හැවිරිදි ෂේන් ටමුරා ලෙස හඳුනාගෙන තිබේ. ඔහු 2015 වසරේ වීඩියෝවකට අනුව, ග්‍රෙනාඩා හිල්ස් පාසල සඳහා ඇමරිකානු පාපන්දු ක්‍රීඩාවේ නිරත වූවෙකි. මෑතකදී ඔහු ලාස් වේගාස් හි කැසිනෝ ශාලාවක ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කර ඇති බවට වාර්තා වේ. ටමුරා සතුව 2022 ජූනි මස නිකුත් කරන ලද, වසර පහක් සඳහා වලංගු, සඟවා ගෙන යා හැකි ගිනි අවියක් සඳහා බලපත්‍රයක් ද තිබී ඇත. තවද, ඔහු සතුව කල් ඉකුත් වූ පෞද්ගලික විමර්ශක බලපත්‍රයක්ද තිබූ බව හෙළි වී තිබේ.

ප්‍රහාරකයාගේ මළ සිරුර අසල තිබී සොයාගත් ලේඛනවලට අනුව, ඔහු ජාතික පාපන්දු ලීගය (NFL) සහ හිසට සිදුවන කම්පන සහගත තත්ත්වයන් හා සම්බන්ධ මොළයේ රෝගයක් (CTE) සම්බන්ධයෙන් එම ආයතනය ක්‍රියා කළ ආකාරය පිළිබඳව දැඩි අප්‍රසාදයකින් පසුවී ඇති බවට පොලීසිය සැක කරයි.

මෙම සිදුවීමට හේතුව එම නොසතුට විය හැකි බවට අනුමාන කෙරුණ ද, එය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත. පොලිස් කොමසාරිස් ජෙසිකා ටිෂ් සඳහන් කළේ, ටමුරාට මානසික සෞඛ්‍ය ගැටලු පැවති බවත්, මේ දක්වා කළ විමර්ශනවලදී ඔහුට අපරාධ පසුබිමක් නොමැති බවත්ය.

සිද්ධිය වූ දිනයේ, උණ්ඩ නොවදින කබායකින් සැරසී දිගු රයිෆලයක් රැගත් ටමුරා, මහල් 44කින් යුත් මෙම කාර්යාල ගොඩනැගිල්ලට ඇතුළු වී තිබේ. ඔහු පළමුව ලොබියේ සිටි පොලිස් නිලධාරියාටත්, පසුව කණුවක් පිටුපස සැඟවී සිටි කාන්තාවකටත්, ආරක්ෂක මේසය පිටුපස සිටි ආරක්ෂක නිලධාරියාටත්, තවත් පිරිමි පුද්ගලයෙකුටත් වෙඩි තබා ඇත. අනතුරුව විදුලි සෝපානයෙන් 33 වන මහලට ගොස් එහි සිටි තවත් පුද්ගලයෙකුට වෙඩි තබා මරා දමා, පසුව කොරිඩෝව දිගේ ගොස් පපුවට වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන ඇති බව පොලිස් කොමසාරිස්වරිය විස්තර කළාය.

පොලීසිය විසින් ටමුරාගේ ලෙයින් තැවරුණු AR-15 වර්ගයේ ප්‍රහාරක රයිෆලය සොයාගෙන ඇත. එම ස්ථානයේ තිබී නෙවාඩා ප්‍රාන්තයේ ලියාපදිංචි අංක සහිත ඔහුගේ මෝටර් රථය ද හමු විය. රථය පරීක්ෂා කිරීමේදී, රයිෆල් පෙට්ටියක්, පතුරම් පිරවූ රිවෝල්වරයක්, අමතර පතොරම්, සඟරා, සහ ටමුරාගේ ඖෂධ වර්ග කිහිපයක් සොයා ගැනීමට හැකි විය. මූලික විමර්ශනවලට අනුව, මෙම මෝටර් රථය ජූලි 26 වන දින කොලරාඩෝ හරහා, ප්‍රහාරයට පැය කිහිපයකට පෙර නිව් ජර්සි හරහා ගමන් කර නිව්යෝර්ක් නගරයට ඇතුළු වී ඇති බවට අනාවරණය වී ඇත.


ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර මැන්හැටන් හි සිදු වූ වෙඩි තැබීමේදී, ප්‍රහාරකයාට නිර්භීතව මුහුණ දුන් 36 හැවිරිදි නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවේ (NYPD) නිලධාරී දීදරුල් ඉස්ලාම්, තුවක්කුකරුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් විය.

බංග්ලාදේශයෙන් ඇමරිකාවට සංක්‍රමණය වූවෙකු වූ ඉස්ලාම්, මෙම නගරයට බෙහෙවින් ආදරය කළ, යුතුකම වෙනුවෙන් දිවි පිදූ වීරයෙකු ලෙස නිව්යෝර්ක් නගරාධිපති එරික් ඇඩම්ස් විසින් හඳුන්වනු ලැබීය.

පුවත්පත් සාකච්ඡාවකදී අදහස් දැක්වූ නගරාධිපති ඇඩම්ස්, "ඔහු මෙම නගරයට ආදරය කළා. අප කතා කළ සෑම කෙනෙකුම පැවසුවේ ඔහු දැඩි විශ්වාසයකින් යුතුව, ආගම දහමට අනුව ජීවත් වූ පුද්ගලයෙකු බවයි. ඔහුගේ නිල ඇඳුමෙන් පමණක් නොව, මෙම නගරයට ඔහු දැක්වූ ආදරය හා කැපවීම තුළින් ඔහු සැබෑ නිව්යෝර්ක් වැසියෙකු බව විදහා දැක්වුවා. මම අද රාත්‍රියේ එම නිලධාරියාගේ පවුලේ අය හමුවී ඔහු සැබෑ වීරයෙකු බවත්, අප වෙනුවෙන් තම ජීවිතය පරදුවට තැබීම ගැන අප ඔහුට සදා ණයගැති බවත් පැවසුවා," යැයි සඳහන් කළේය.

නිව්යෝර්ක් පොලිස් කොමසාරිස් ජෙසිකා ටිෂ් පැවසුවේ, ඉස්ලාම් නිලධාරියා වසර තුනහමාරක කාලයක් නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති බවයි. ඔහු 2021 දෙසැම්බර් මස පොලිස් සේවයට එක්වී ඇති අතර, බ්‍රොන්ක්ස් හි 47 වන පොලිස් කොට්ඨාසයට අනුයුක්තව සේවය කරමින් සිටියේය. ඔහුගේ වියෝවෙන් බිරිඳ සහ පුතුන් දෙදෙනෙකු ශෝකයට පත්ව සිටින අතර, ඔහුගේ බිරිඳ අට මස් ගැබිනියක් බවට දේශීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම ඛේදවාචකයේදී ඉස්ලාම් නිලධාරියාට අමතරව තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු ද මියගොස් ඇත. ඔවුන්ගේ අනන්‍යතාව පවුලේ අයට දැනුම් දෙන තුරු රහසිගතව තබා ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ. තවත් පුද්ගලයෙකු මෙම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියි. ප්‍රහාරය සිදුකළ 27 හැවිරිදි ෂේන් ටමුරා, සිද්ධියෙන් අනතුරුව තමාටම වෙඩි තබාගෙන සිය දිවි නසාගත් බව පොලීසිය තහවුරු කර ඇත. ඔහුට මානසික සෞඛ්‍ය ගැටලු පැවති බවත්, අපරාධ පසුබිමක් නොමැති බවත් විමර්ශන මගින් හෙළි වී තිබේ.

gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 5