update-businessman-and-police-officer-mentioned-in-yatinuwara-champikas-letter-questioned

 යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත මහතා සිය බිරිය සහ දියණිය සමඟ මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර පරීක්ෂණ ආරම්භ කර තිබේ. විපක්ෂ නායකවරයා සියදිවි හානිකර ගැනීමට පෙර ලියා තැබූ ලිපියෙහි සඳහන් ණය මුදලක් ලබාදුන් ව්‍යාපාරිකයාගෙන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.



මියගිය චම්පික නිලන්ත මහතාගේ බිරියගේ සහ දාහත් හැවිරිදි දියණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේදී සිදුකර ඇති අතර, එහිදී මරණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇත. වැඩිදුර පරීක්ෂණ සඳහා මියගිය අයගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමුකර තිබේ.

විපක්ෂ නායකවරයා විසින් සිය බිරියට සහ දියණියට යම්කිසි ඖෂධයක් පානය කිරීමට සලස්වා පසුව ඔවුන්ගේ ගෙල සිරකර ඝාතනය කරන්නට ඇති බවට පොලීසිය මූලිකව සැක කරයි. කෙසේ වෙතත්, මේ පිළිබඳව නිශ්චිත තොරතුරක් තහවුරු කළ හැක්කේ රස පරීක්ෂක වාර්තාව ලැබීමෙන් අනතුරුව බව පොලීසිය පවසයි.

චම්පික නිලන්ත මහතා ගෙල වැලලාගෙන මියගොස් සිටියදී සොයා ගැනුණු අතර, ඔහු විසින් ලියා තබන ලද ලිපියක්ද පොලිස් භාරයට ගෙන තිබේ. එම ලිපිය මගින් ඔහු ව්‍යාපාරිකයෙකුට සහ පොලිසියට චෝදනා එල්ල කර ඇති බව වාර්තා වේ. පේරාදෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරයි.



මෙම ඛේදවාචකයට මූලික හේතුව වී ඇත්තේ මහනුවර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් ලබාගත් රුපියල් ලක්ෂ පනහක ණය මුදලක් සහ ඒ හා සම්බන්ධ ගැටලු බවට පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ණය පොලිය ගෙවීමට නොහැකි වීමෙන් විපක්ෂ නායකවරයා දැඩි මානසික පීඩනයකින් පසුවී ඇති අතර, රුපියල් ලක්ෂ විස්සක මුදලක් ගෙවා තිබුණද ඉතිරි මුදල ඉල්ලා ව්‍යාපාරිකයාගෙන් මරණීය තර්ජන එල්ල වී ඇති බවට තොරතුරු ලැබී ඇත.

විපක්ෂ නායකවරයා විසින් සියදිවි නසා ගැනීමට පෙර ලියන ලදැයි සැලකෙන පිටු පහක ලිපියේ දියණියගේ චර්ම රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමට ඉන්දියාවට යාමට සූදානම්ව සිටි බවත්, ව්‍යාපාරිකයාගේ තර්ජන සහ හිරිහැර දරාගත නොහැකි වූ බවත් එම ලිපියේ සඳහන් කර තිබේ. දියණියගේ පාසල අසලදී පවා ව්‍යාපාරිකයා තමාට තර්ජනය කළ බවද ඔහු පෙන්වා දී ඇත.

මෙම මූල්‍ය ආරවුලට පිළිමතලාවේ පිහිටි පැරණි වලව්වක් සම්බන්ධ ගනුදෙනුවක්ද පදනම් වී ඇති බවට තොරතුරු වාර්තා වේ. විපක්ෂ නායකවරයාගේ පොරොන්දුවක් මත අදාළ ව්‍යාපාරිකයා එම වලව්ව මිලදී ගෙන ඇති අතර, එය වැඩි මිලකට විකුණා දීමට නොහැකි වීම නිසා දෙදෙනා අතර පැවති මිතුදම පළුදු වී ආරවුල උත්සන්න වී තිබේ.
නිලන්ත මහතා සහ මෙම කෝටිපති ව්‍යාපාරිකයා සමීප මිතුරන් වන අතර ඔහුගේ එම කීම විශ්වාස කර එම පැරැණි වලව්ව මිලදී ගෙන ඇතත් එය කෝටි පහක මුදලකට විකුණා දීමට අපොහොසත් වීම නිසා දෙදෙනා අතර කලක සිට විරසක වීම් පැවැති බව පැවසේ.



වලව්ව කෝටි පහකට අලෙවි කර දෙන බවට පොරොන්දු වුවත් එය ඉටුකර නොදීම නිසා නිලන්ත මහතාට එම වලව්ව විකුණා තමා එම වලව්ව මිලදී ගැනීමට වියදම් කළ කෝටි දෙකකට ආසන්න මුදල ලබා දෙන ලෙසටද ව්‍යාපාරිකයා වරින් වර ඉල්ලීම් කර තිබූ බවද කියති.ලැබී ඇති මෙම තොරතුරු සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු කර පොලිසිය පුළුල් පරික්‍ෂණ පවත්වාගෙන යයි. එම කෝටිපති ව්‍යාපාරිකයා පසුගිය රජයේ හිටපු ප්‍රබලතම දේශපාලනඥයකුගේ හිතවතකු බවද ඔහුට සමීප ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත. මෙම කෝටිපති ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ ගණනින් මුදල් පොලියට දීම සහ ඉඩම් මිලදී ගෙන ඒවා කට්ටිකර විකිණීමේ ව්‍යාපාරයක්ද කරගෙන ගොස් ඇති අයෙකි. නිලන්ත මහතා සියදිවි නසා ගැනීමට කලින් ලියන ලදැයි කියන පිටු පහකින් සමන්විත ලිපියක්ද පේරාදෙණිය පොලිසියට හමුවී ඇත.

එම ලිපියේ මෙසේද සඳහන් කර ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

“මගේ දුවගේ හම සුදුවන රෝගයක් තිබුණා. ඒ නිසා ඇය ඉස්කෝලේ යන්න බැහැ කියා හැමදාම අඬනවා. මේ චර්ම රෝගයට ප්‍රතිකාර කරන්න දුව ඉන්දියාවේ එක්කගෙන යන්න සියල්ල සූදානම් කරගෙන හිටියා. දුවගේ මේ රෝගය නිසා සහ කෝටිපති ව්‍යාපාරික විජේසිංහ වැඩේ නිසා විඳවන්න බැරි දුකක් විඳිනවා. මානසික ආත්තිය නිසා දුව දවසක් ගඟට පනින්නත් හැදුවා. ගේ විකුණලා ලක්ෂ පනහක් දෙනවා කිව්වත් ඒක ගණන් ගන්නේ නැතුව හැමදාම බනිනවා. මාව මරණ බවත් කියා තර්ජනය කළා දුවගේ ඉස්කෝලේ ළඟට ඇවිත් දවසක් දුව ළඟ ඉන්නකොට මගේ කොළරයෙන් අල්ලා තර්ජනය කළා. මගේ කාර් එකයි ලක්ෂ දහයකුයි දුන්නේ නැත්නම් මාව අවුරුදු විස්සකට හිරේ දානවා කිව්වා.

පොලිසියට පැමිණිලි කරන බව කිව්වහම මට විරුද්ධව පැමිණිලි කරන්න එපා කියලා කිව්වා. දුවගේ හම සුදුවෙන රෝගයට බෙහෙත් කරන්න ඉන්දියාවේ යන්න තියෙන නිසා මට කරදර හිරිහැර කරන්න එපා කියලා වැඳලා කිව්වත් ඒ ගැන ගණන් ගත්තේ වත් නැහැ. අපේ පවුලට කරපු දේට උඹ වග කියන්න ඕනෑ" 





යනුවෙන්ද එම ලිපියේ සඳහන් කර ඇතැයි පොලීසිය කියයි. මෙම කෝටිපති ව්‍යාපාරිකයාගෙන්ද පොලිසිය ප්‍රශ්න කිරීමට නියමිතය. 
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරන අතර, චූදිත ව්‍යාපාරිකයාගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිතය. මේ අතර, මියගිය විපක්ෂ නායකවරයාගේ ලිපියේ සඳහන් මහනුවර උසස් පොලිස් නිලධාරියෙකු සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක්ද පත්කර ඇත.