the-daughter-who-gave-the-game-to-an-elderly-mother-was-arrested-by-the-police-within-two-hours

මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී වෙඩි තබා ඝාතනය කරන ලද 'යුනිකෝන්' හෙවත් 'ඩොලර් මැෂිම' යන අන්වර්ථ නාමයෙන් ප්‍රකට දළ ඇතාගේ මරණය සම්බන්ධ නඩුවේදී, සිද්ධියට යොදාගත් බවට සැකකෙරෙන ගිනි අවිය රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලෙස හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

නඩුව යළි කැඳවූ අවස්ථාවේදී හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් එන්. ඩී. කරුණාරත්න මහත්මිය විසින් මින්නේරිය වනජීවී කාර්යාලයේ අඩවි සහකාර ඒ. බී. සී. කුලරත්න මහතාට මෙම නියෝගය නිකුත් කරන ලදී. එමෙන්ම, රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියම කළාය.



මෙම ඇතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා, දැනට ඇප මත නිදහස්ව සිටින සැකකරුවන් පස් දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියහ. පොළොන්නරුව, දියබෙදුම, ඉහළලුවැව ප්‍රදේශයේ පදිංචි ආර්. එම්. සමන් ප්‍රේමතිලක නොහොත් හැත්තෑවේ මල්ලි, යූ. ටී. ජී. ශ්‍රීමාල් ධනුෂ්ක කරුණාතිලක, එච්. එම්. ගයාන් ධනුෂ්ක සමරනායක, ජී. ජී. තිලකරත්න සහ මාතලේ, යටිවිමන පදිංචි ආර්. එම්. හේරත් බණ්ඩාර උඩස්ගිරිය යන අය එම සැකකරුවෝ වෙති.



ඝාතනයට ලක්වූ ඇතාගේ අයිතිවාසිකම් වෙනුවෙන්, අලි ඇතුන් සුරැකීමේ ලෝක සංවිධානය අධිකරණයේ අවසරය මත මෙම නඩුවට අතරමැදි පාර්ශ්වයක් ලෙස සම්බන්ධ වී සිටී. එම සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රමනායක මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, මෙම දළ ඇතා නැරඹීම සඳහා විශාල විදේශීය සංචාරක පිරිසක් මින්නේරිය වනෝද්‍යානයට පැමිණි නිසා 'ඩොලර් මැෂිම' යන නාමය ව්‍යවහාර වූ බවයි.

නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් මින්නේරිය වනජීවී කාර්යාලයේ අඩවි සහකාර එන්. බී. සී. කුලරත්න මහතා පෙනී සිටි අතර, සැකකරුවන් වෙනුවෙන් නීතිඥ රනිල් වීරසේකර මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් කරුණු දැක්වීය. සැලසුම් සහගතව ඝාතනය කරන විට මෙම 'යුනිකෝන්' දළ ඇතා අඩි 10යි අඟල් 6ක් උස, 40 හැවිරිදි සතෙකු බව වාර්තා වේ.