වියට්නාමයේ ක්වාන්ග් නින් පළාතේ, සුප්‍රකට සංචාරක කලාපයක් වන හාලෝන්ග් බොක්ක ආශ්‍රිතව හටගත් ප්‍රබල සුළං තත්ත්වයක් හේතුවෙන් සංචාරකයින් 53 දෙනෙකු රැගත් නෞකාවක් ඉරිදා පස්වරුවේ පෙරළී ගොස් ඇත. මෙම අනතුරින් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් ඇති බවත්, තවත් 11 දෙනෙකු මුදාගෙන ඇති බවත් බලධාරීන් තහවුරු කර තිබේ.
‘වොන්ඩර් සී’ නමැති මෙම නෞකාව සංචාරකයින් 48 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 5 දෙනෙකු සමඟ දහවල් 12:55 ට පමණ හාලෝන්ග් බොක්ක හරහා ගමන් කරමින් තිබී ඇත. පස්වරු 1:30 ට පමණ එය හදිසියේම කුණාටුවකට හසුවීම නිසා එක් පසකට ඇලවී පෙරළී ගොස් තිබේ. ක්වාන්ග් නින් පළාත් මහජන කමිටුවට අනුව, පස්වරු 2:05 වන විට නෞකාවේ GPS සංඥා පද්ධතියද විසන්ධි වී ඇත.
මෙම සිදුවීමත් සමඟ දේශසීමා ආරක්ෂකයින්, නාවික හමුදාව, පොලීසිය සහ වරාය අධිකාරිය එක්ව බෝට්ටු 27ක් සහ විශේෂ මුදාගැනීමේ යාත්‍රා දෙකක් යොදවා සෝදිසි මෙහෙයුම් දියත් කරන ලදී. එමෙන්ම, සෝදිසි සහ මුදාගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා විශේෂ අණදෙන මධ්‍යස්ථානයක් ද පිහිටුවන ලදී.
මුදාගැනීමේ කණ්ඩායම් කිහිපයකට බෙදී මෙහෙයුම් සිදු කළ අතර, කිමිදුම්කරුවන් කණ්ඩායමක් පෙරළුණු නෞකාවේ කුටිය තුළ සිරවී සිටින්නන් සෙවීමේ නිරත විය. තවත් කණ්ඩායමක් විශේෂිත උපකරණ භාවිතා කරමින් නෞකාව පෙරළුණු ස්ථානය අවට ප්‍රදේශය පුරා විපතට පත්වූවන් සෙවීමේ කටයුතු සිදු කළහ.
මුහුදේ නොසන්සුන්කාරී බව පහව ගොස් තිබුණද, අධික වර්ෂාව සහ රාත්‍රිය උදාවීමත් සමඟ දෘශ්‍යමාන තත්ත්වය සීමා වීම මුදාගැනීමේ මෙහෙයුම් සඳහා දැඩි බාධාවක් විය. පස්වරු 5 වන විට, ‘වොන්ඩර් සී’ නෞකාවේ සිටි 10 දෙනෙකු මුදාගත් බවත්, මළ සිරුරු තුනක් සොයාගත් බවත් ක්වාන්ග් නින් දේශසීමා ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය.
බහුවිධ තුවාල සහිතව සිහිය ඇතිව රෝහල් ගත කළ 10 හැවිරිදි පිරිමි දරුවෙකුට හදිසි ප්‍රතිකාර ලබා දුන් බවත්, ඔහුගේ තත්ත්වය මේ වන විට ස්ථාවර බවත් බායි චායි රෝහලේ අධ්‍යක්ෂ ලී ගොක් ඩුන්ග් පැවසීය.
පෙරළුණු නෞකාවේ කුටිය තුළ පැය හතරක් සිරවී සිටි 14 හැවිරිදි පිරිමි ළමයෙකු දිවි ගලවාගත් ආකාරය තමන් දුටු බව හාලෝන්ග් නෞකා සංගමයේ නියෝජ්‍ය ප්‍රධානී බුයි කොන්ග් හෝන් එම ස්ථානයේදී සිහිපත් කළේය. නෞකාව පෙරළී කුටියේ දොරවල් අගුළු වැටී තිබුණද, සෙන්ටිමීටර 50-60ක් පමණ පළල වායු කුටීරයක් සෑදී තිබීම නිසා එම දරුවාට දිවි ගලවා ගැනීමට හැකිවූ බව ඔහු සඳහන් කළේය. පසුව මුදාගැනීමේ කණ්ඩායම් ජනේලයක් කඩා දරුවා පිටතට ගෙන ඇත.
පස්වරු 7 වන විට තවත් දිවි ගලවාගත් දෙදෙනෙකු සහ මළ සිරුරු තුනක් සොයාගත් බව බලධාරීහු පැවසූහ. ඒ අනුව, දිවි ගලවාගත් මුළු සංඛ්‍යාව 12 දක්වාත්, මරණ සංඛ්‍යාව 5 දක්වාත් ඉහළ ගිය අතර, පුද්ගලයින් 36 දෙනෙකු අතුරුදන්ව සිටියහ. මගීන්ගෙන් බහුතරය හැනෝයි නුවරින් පැමිණි පවුල් වන අතර, ඔවුන් අතර ළමුන් 20කට අධික සංඛ්‍යාවක් සිට ඇත. මගීන් අතරින් වයස්ගතම පුද්ගලයා 53 හැවිරිදි වූ අතර, ලාබාලතමයා 3 හැවිරිදි දරුවෙකි.
පෙරළුණු නෞකාව ඔසවා කෙළින් කිරීම සඳහා දොඹකර සහිත පාලම් යාත්‍රාවක් යොදවා තිබුණද, ප්‍රබල දියවැල් සහ නෞකාවේ අධික බර නිසා කිමිදුම්කරුවන්ට කේබල් යොදා එය එසවීමට නොහැකි විය. රාත්‍රී 8 ට පමණ අගමැති ෆාම් මින් චින් නිල පණිවිඩයක් නිකුත් කරමින් විපතට පත්වූවන්ට සිය සංවේගය පළ කළ අතර, මියගිය අයගේ පවුල්වලට ශෝකය ප්‍රකාශ කළේය. ඔහු නියෝජ්‍ය අගමැති ට්‍රාන් හොන්ග් හාව මුදාගැනීමේ මෙහෙයුම් අධීක්ෂණය සඳහා එම ස්ථානයට පිටත් කර හැරියේය.
රාත්‍රී 8:45 වන විට, මළ සිරුරු 28ක් සොයාගෙන ඇති බවත්, ඒ අතර ළමුන් 8 දෙනෙකු සිටින බවත් නාවික හමුදා අණදෙන මූලස්ථානය වාර්තා කළේය. මුලින් වාර්තා වූ 12 දෙනාගෙන් 11 දෙනෙකු මුදාගෙන ඇති අතර, තවත් 14 දෙනෙකු අතුරුදන්ව සිටියහ. රාත්‍රී 9 වන විට හාලෝන්ග් බොක්කේ කාලගුණික තත්ත්වය තවදුරටත් අයහපත් වූ අතර, රළු මුහුද, අධික වර්ෂාව සහ ප්‍රබල සුළං පැවතිණි.
අණදෙන මධ්‍යස්ථානයට අනුව, පසුව තවත් මළ සිරුරු හයක් සොයා ගැනීමත් සමඟ තහවුරු වූ මරණ සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගිය අතර, තවත් 8 දෙනෙකු අතුරුදන්ව ඇත. ක්වාන්ග් නින් ඉදිකිරීම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දේශීය ජල මාර්ග ලියාපදිංචි සහතිකයට අනුව, මෙම නෞකාව 2015 වසරේ ඉදිකරන ලද්දකි. එය මීටර් 24ක් දිග වන අතර, ටොන් 12ක බරක් දැරිය හැකි අතර මගීන් 48 දෙනෙකු රැගෙන යාමට බලපත්‍ර ලබා තිබේ.
වියට්නාමයේ උතුරු ප්‍රදේශයට බලපා ඇති මෙම වර්ෂාව දකුණු චීන මුහුදෙන් ළඟා වෙමින් පවතින ‘විෆා’ කුණාටුවේ බලපෑමක් නිසා නොව, උතුරු ප්‍රදේශය හරහා පවතින සුළං රටාවන් හේතුවෙන් හටගත් තත්ත්වයක් බව ජාතික ජල කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මායි වැන් කියම් පැවසීය. වර්ග කිලෝමීටර් 1,500කට අධික භූමි ප්‍රමාණයක පැතිරී ඇති, දූපත් 2,000කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත හාලෝන්ග් බොක්ක, යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස පිළිගෙන ඇති අතර, සෑම වසරකම දේශීය හා විදේශීය සංචාරකයින් මිලියන ගණනක් ආකර්ෂණය කරගන්නා ස්ථානයකි.
Comments
Post a Comment
Your comment will be visible after approval