මේ වනවිට සමාජ මාධ්‍ය, ගුරු සංගම් හා ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් සාමාන්‍ය පෙළ විෂයයන් සම්බන්ධ කරන්නට යන වෙනස්කම් ගැන දුර්මත පතුරා තිබේ. එම ක්‍රියාවලිය පැහැදිලි කිරීමට අගමැතිනිය ඊයේ ඉදිරිපත්වූ නමුත් එයද විවේචනය කරමින් තවත් අදහස් අද මතුව තිබේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉතිහාසය, සෞන්දර්ය සහ වෘත්තීය විෂයන් හැදෑරීම අනිවාර්ය කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි. මෙම විෂයන් විෂය මාලාවෙන් ඉවත් කර ඇති බවට පැතිර යන අසත්‍ය ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරමින් ඇය මේ බව සඳහන් කළාය.
නව අධ්‍යාපන ව්‍යුහය සකසා ඇත්තේ, සිසුන් තෝරාගන්නා විෂය ක්ෂේත්‍රයට පමණක් සීමා නොවූ, සමාජය පිළිබඳ හැඟීමක් ඇති සහ වැඩ ලෝකයට අවශ්‍ය කුසලතා සහිත පුරවැසියෙකු බිහිකිරීමේ අරමුණින් බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. තම දරුවන්ගේ අධ්‍යාපනය සහ ජීවිත දේශපාලන අරමුණු සඳහා යොදා නොගන්නා ලෙසද ඇය මෙහිදී මහජනතාවගෙන් ඉල්ලීමක් කළාය.
ප්‍රතිසංස්කරණවල හරය පැහැදිලි කළ අගමැතිනිය, උසස් පෙළ සඳහා විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු විද්‍යාව හෝ කළමනාකරණය වැනි ධාරාවන් තෝරාගන්නා සිසුන්ට පවා ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හැදෑරීම අනිවාර්ය වන බව සඳහන් කළාය. එමෙන්ම, මානව ශාස්ත්‍ර ධාරාව යටතේ විෂයයන් හතරක් හදාරන සිසුවෙකුට ඉතිහාසය විෂය තෝරාගැනීම අනිවාර්ය වන අතර, ඕනෑම විෂය ධාරාවක් හදාරන සිසුවෙකු කුසලතා (Skills) ධාරාවෙන්ද එක් විෂයක් තෝරාගත යුතු බව ඇය වැඩිදුරටත් පැහැදිලි කළාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුන් පෙනී සිටිය යුතු විෂයයන් සංඛ්‍යාව නවයේ (9) සිට හතක් (7) දක්වා අඩු කිරීමට යෝජනා වී තිබේ. මෙම විෂයයන් හත, සියලුම සිසුන්ට පොදු වූ අනිවාර්ය මූලික විෂයයන් පහකින් සහ සිසුන් විසින් තෝරාගනු ලබන වරණීය විෂයයන් දෙකකින් සමන්විත වේ.
පොදු
මූලික විෂය මාලාවට අනුව මව්බස, ඉංග්‍රීසි භාෂාව, ගණිතය, විද්‍යාව සහ ආගම
හා සාරධර්ම අධ්‍යයනය යන විෂයයන් සියලුම සිසුන්ට අනිවාර්ය වෙයි. මීට අමතරව,
මෙතෙක් අනිවාර්ය විෂයක්ව පැවති ඉතිහාසය මෙන්ම සෞන්දර්ය අධ්‍යාපනය, භූගෝල
විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය ඇතුළු විෂයයන් ලැයිස්තුවකින්
සිසුන් විසින් විෂයයන් දෙකක් තෝරාගත යුතුය.
කෙසේ වෙතත්, සාමාන්‍ය පෙළ විභාගයට අමතරව, උසස් පෙළ ඉලක්ක කරගත් 'වැඩිදුර අධ්‍යාපන විෂය මාලාවක්' ද සිසුන් හැදෑරිය යුතු අතර, ඒ යටතේ තවත් විෂයයන් හතක් අධ්‍යයනය කිරීමට නියමිතය. මෙහිදී විශේෂත්වය වන්නේ, සිසුවෙකු STEM (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු, ගණිතය), මානව ශාස්ත්‍ර, කළමනාකරණ හෝ වෘත්තීය යන කුමන විෂය ක්ෂේත්‍රයක් තෝරා ගත්තද, එම සියලුම සිසුන්ට ඉතිහාසය සහ සෞන්දර්ය විෂයයන් හැදෑරීම අනිවාර්ය වීමයි.
මෙලෙස සිසුන්ට අධ්‍යයනය කිරීමට සිදුවන මුළු විෂයයන් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ යාමෙන් අධික බරක් පැටවෙන්නේද යන්න පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දෙන්නේ, විෂය අන්තර්ගතය සිසුන්ගේ අනාගත අධ්‍යාපන මාවතට ගැලපෙන පරිදි නම්‍යශීලීව සකසා ඇති බැවින් විෂය භාරය අඩු වන බවයි. උදාහරණයක් ලෙස, මූලික විෂය මාලාවේ ගණිතය පොදු දැනුම සඳහා වන අතර, වැඩිදුර අධ්‍යාපනය යටතේ ගණිතය හැදෑරීමට සිදුවන්නේ එම විෂය ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාමට අපේක්ෂා කරන සිසුන්ට පමණි.
මෙම
ප්‍රතිසංස්කරණ යටතේ දැනට පවතින A, B, C, S ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය
වෙනුවට, විශ්වවිද්‍යාලවල භාවිතයට සමාන ශ්‍රේණි ලකුණු සාමාන්‍යයක් (GPA)
හඳුන්වා දීමටද යෝජනා වී ඇත. සම්පූර්ණ කළ යුතු මුළු ක්‍රෙඩිට් සංඛ්‍යාව 35ක්
වන අතර, අධ්‍යයන කටයුතු අවසානයේ සිසුන්ට ලැබෙන සහතිකය, තමන් හැදෑරූ සියලුම
විෂයයන් සහ උපයාගත් ක්‍රෙඩිට් සංඛ්‍යාව ඇතුළත්, විශ්වවිද්‍යාල
ප්‍රතිලේඛනයකට (transcript) සමාන ලේඛනයක් වනු ඇත.
මෙම තෝරාගැනීම් පිලිබඳ වැඩිදුර පැහැදිලි කිරීම පහත පරිදිය.
01. සාමාන්‍ය පෙළ විභාගයට එන විෂයයන් සංඛ්‍යාව කොපමණ ද?
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා දැනට මුහුණ දෙන විෂයන් 9 වෙනුවට එය විෂයයන් 7ක් දක්වා අඩු කිරීමට මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ජාතික වැඩපිළිවෙළින් යෝජනා කර තිබේ.
එහිදී දැනට අනිවාර්ය විෂයයක් වන ඉතිහාසය විෂය සිසුන්ට අධ්‍යයනය කිරීමට තෝරාගත හැකි විෂය කාණ්ඩයට ඇතුළත්ව ඇති අතර, එහිදී සෞන්දර්ය විෂයයන් ද එම තෝරාගත හැකි විෂයයන් ගොන්නට එක් කර තිබේ.
ඒ අනුව, සාමාන්‍ය පෙළ විභාගයේදී විෂයයන් 7කට පෙනී සිටිය යුතු ය.
02. 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් අධ්‍යයනය කළ යුතු විෂයයන් මොනවා ද?
පොදු මූලික විෂය මාලාව යටතේ අනිවාර්ය විෂයයන් 5ක් සහ තෝරාගත් විෂයයන් 2ක් අධ්‍යයනය කළ යුතු ය.
මීළඟට වැඩිදුර අධ්‍යාපනය සඳහා අධ්‍යයන ක්ෂේත්‍ර සහ වෘත්තීය අධ්‍යාපන විෂය ක්ෂේත්‍රයෙන් සිසුන් මොඩියුල තෝරාගත යුතු ය.
තෙවනුව තීර්යක් කුසලතා (transversal) කාණ්ඩයෙන් සිසුන් ක්‍රෙඩිට් තුනක් උපයා ගත යුතු ය.
03. පොදු මූලික විෂය මාලාව යටතේ හැදෑරිය යුතු විෂයයන් මොනවා ද?
පොදු මූලික විෂය මාලාව යටතේ සිසුන් හැදෑරිය යුතු අනිවාර්ය විෂයයන් පහත පරිදි ය.
- මව් බස
- ඉංග්‍රීසි භාෂාව
- ගණිතය
- විද්‍යාව
- ආගම සහ සාරධර්ම අධ්‍යයනය
මෙම එක් එක් විෂය සඳහා ක්‍රෙඩිට් තුන බැගින් හිමි වන අතර ආගම සහ සාරධර්ම අධ්‍යයනය සඳහා පමණක් ක්‍රෙඩිට් දෙකක් හිමි වේ.
ඉන්පසුව විෂයයන් දෙකක් සිසුන් විසින් තෝරා ගත යුතු අතර එයට මෙතෙක් අනිවාර්ය විෂයක් වූ ඉතිහාසය විෂය ද ඇතුළත්ව තිබේ.
එම විෂයන් පහත පරිදි වේ.
- දෙවන ජාතික භාෂාව
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- ඉතිහාසය
- පුරවැසි අධ්‍යාපනය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- තාක්ෂණය
- භූගෝල විද්‍යාව
- සෞන්දර්ය අධ්‍යාපනය
- ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය
සිසුන් මෙම විෂයයන් අතරින් විෂයයන් දෙකක් තෝරාගත යුතු අතර, ඒ සඳහා එක් එක් විෂයට ක්‍රෙඩිට් 2 බැගින් හිමි වේ.
04. වැඩිදුර අධ්‍යාපන විෂය මාලාවලින් විෂයයන් තෝරා ගන්නේ කෙසේ ද?
- සිසුන්ට වැඩිදුර අධ්‍යාපන විෂය ක්ෂේත්‍ර යටතේ ඔවුන් උසස් පෙළ සඳහා අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන විෂයයන් සඳහා ප්‍රවේශයක් ලබා දීමේ අවස්ථාවද නව ප්‍රතිසංස්කරණ මගින් හිමි වේ.
- ඒ අනුව ඔවුන්ට, STEM (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය), මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා හෝ කළමනාකාරණය යන විෂය මාලාවලට අදාළ විෂයයන් හැදෑරීම සිදු කළ හැකි ය.
- එහිදී යම් සිසුවෙකු STEM තෝරා ගතහොත් එම සිසුවා ගණිතය සහ තොරතුරු තාක්ෂණය ඇතුළත්ව STEM විෂය කාණ්ඩයේ විෂයයන් 4ක් අධ්‍යයනය කළ යුතු අතර, ඔවුන් මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂය කාණ්ඩයෙන් ඉතිහාසය සහ සෞන්දර්ය ඇතුළුව විෂයන් දෙකක් හැදෑරිය යුතු වේ.
- ඊට අමතර ව ඔවුන් වෘත්තීය පුහුණු එක විෂයක් හැදෑරීම සිදු කළ යුතු ය.
- මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂයයන් හැදෑරීමට තෝරා ගන්නා සිසුන් STEM විෂයන්ගෙන් ගණිතය සහ තොරතුරු තාක්ෂණය ඇතුළත්ව විෂයයන් දෙකක් තෝරා ගත යුතු අතර, ඉතිහාසය සහ සෞන්දර්ය ඇතුළුව මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂය කාණ්ඩයෙන් විෂයයන් 4ක් ද, වෘත්තීය පුහුණු එක් විෂයක් ද හැදෑරිය යුතු ය.
- කළමනාකරණ විෂය පථය තෝරා ගන්නා සිසුන් ඉතිහාසය සහ සෞන්දර්ය ඇතුළුව මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂය කාණ්ඩයෙන් විෂයයන් දෙකක් හැදෑරිය යුතු අතර, කළමනාකරණ විෂය කාණ්ඩයෙන් විෂයයන් 4ක් හා වෘත්තීය පුහුණු එක් විෂයක් හැදෑරිය යුතු ය.
- වෘත්තීය පුහුණු විෂය ධාරාව තෝරා ගන්නා සිසුන් මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂය කාණ්ඩයෙන් විෂයයන් දෙකක්, කළමනාකරණ විෂය කාණ්ඩයෙන් ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව විෂය ද, වෘත්තීය පුහුණු කාණ්ඩයෙන් විෂයයන් 4ක් ද හැදෑරිය යුතු වේ.
- ඒ අනුව, සිසුහු මූලික විෂය නිර්දේශය යටතේ තෝරා ගන්නා විෂයන් 7ට අමතරව තවත් විෂයන් 7ක් හදාරති. එනම් මුළු විෂයන් සංඛ්‍යාව 14කි.
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල විශ්ලේෂණයෙන් හෙළිවන කරුණු 5ක්
මෙම විෂය කාණ්ඩ යටතේ විෂයයන් තෝරා ගැනීමේදී සියලු ම විෂය කාණ්ඩ යටතේ සිසුන්ට ඉතිහාසය සහ සෞන්දර්ය විෂයයන් හැදෑරීමට සිදු වේ.
ඒ අනුව විෂයන් 14ක් සහ තවත් අමතර ක්ෂේත්‍රයක් අධ්‍යයනය කිරීමට සිදුවීමෙන් නැවතත් සිසුන් පිට වඩා වැඩි බරක් යෙදවීමක් සිදු වේද?
"සබ්ජෙක්ට් ගාන දිහා බලලා විෂයන්වල බර ගැන කියන්න බෑ. අපි මුලින් ම බලන්න ඕනේ ඒ විෂයන්වල අන්තර්ගතය. ඒ වගේ ම ඒකෙ තියෙන නම්‍යශීලී ගතිය.
කලින් උසස් පෙළ ගණිත අංශයෙන් කරන්න බලාපොරොත්තු වෙන ළමයත්, කලා අංශයෙන් කරන්න බලාපොරොත්තු වෙන ළමයත් දෙන්න ම එක ම ගණිත අන්තර්ගතයක් ඉගෙන ගන්න ඕනේ,"
ඒ අනුව උසස් පෙළ සඳහා යම් විෂය ධාරාවක් තෝරාගැනීමට බලාපොරොත්තු වන සිසුන් විෂයන් තෝරා ගැනීම සිදු කළ යුත්තේ කෙසේද?
"දැන් සාමාන්‍යයෙන් ළමයෙක් ඉගෙන ගන්න ඕනේ ගණිත දැනුම අපි ගණිතය විෂය යටතේ දෙනවා. එතකොට විද්‍යා, ගණිත විෂයන් කරන්න බලාපොරොත්තු වෙන වැඩි ගණිත දැනුමක් ලබා ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් එයාට වැඩිදුර අධ්‍යාපන විෂයන්වලින් ගණිත විෂය කොටස් සඳහා ක්‍රෙඩිට් උපයා ගන්න පුළුවන්. දැනට සාමාන්‍ය පෙළ ගත්තොත් උසස් පෙළ විද්‍යා විෂයන් කරන්න බලාපොරොත්තු වෙන ළමයත් කලා විෂයන් කරන්න බලාපොරොත්තු වෙන ළමයත් එන්නේ එක මට්ටමකට. ඒ නිසානේ බර වැඩි වෙලා තියෙන්නේ ඒ අයට,"
මූලික විෂයන් හත යටතේ සිසුන් පෙනී සිටින විභාග ප්‍රශ්න පත්‍ර ගෝලීයව පිළිගත් සාමාන්‍ය මට්ටමකට අනුව සකස් කරන අතර ඒ ඒ විෂය කාණ්ඩ යටතේ උසස් පෙළ හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් වැඩිදුර අධ්‍යාපන විෂය කාණ්ඩයෙන් ඔවුන්ගේ විෂයන්ට සම්බන්ධ විෂයන්වලට අදාළ ක්‍රෙඩිට් උපායාගැනීමට හැකි ය.
05. තීර්යක් විෂයයන් (transversal) තෝරා ගන්නේ කොහොම ද?
මෙම ශ්‍රේණිවල සිසුන් තීර්යක් විෂයන් යටතේ තවත් ක්‍රෙඩිට් 3ක් උපයා ගත යුතු ය.
එහි ඇතුළත් වන්නේ මොඩියුල වන අතර එම මොඩියුල පහත පරිදි වේ.
- සාහිත්‍ය රසාස්වාදය
- මාධ්‍ය අධ්‍යයනය
- කර්මාන්ත අධ්‍යයනය
- සේවා අංශ අධ්‍යයනය
- ගෝලීය අධ්‍යයනය
- සෞඛ්‍ය සහ ක්‍රීඩා
- ව්‍යවහාරික තාක්ෂණය
- සෞන්දර්ය රසාස්වාදය
- සිනමා අධ්‍යයනය
- වෘත්තීය සූදානම සඳහා පදනම් අධ්‍යාපනය
- ඩිජිටල් පුරවැසිභාවය
06. සාමාන්‍ය පෙළ සඳහා ශිෂයෙකු හැදෑරිය යුතු මුළු විෂය නිර්දේශය සකස් වෙන්නේ කෙසේ ද?
මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අනුව පහත විෂයන් සහ පහත ක්‍රෙඩිට් උපයා ගත යුතු ය.
- අනිවාර්ය විෂයන් 05: ක්‍රෙඩිට් 14
- තෝරාගත් විෂයන් 02: ක්‍රෙඩිට් 04
- වැඩිදුර අධ්‍යාපන විෂයන් 07: ක්‍රෙඩිට් 14
- තීර්යක් විෂයයන් (transversal): ක්‍රෙඩිට් 03
ඒ අනුව සිසුන් සාමාන්‍ය පෙළ සඳහා ඉහත විෂයන් අධ්‍යයනය කළ යුතු අතර උපයා ගතයුතු මුළු ක්‍රෙඩිට් සංඛ්‍යාව 35කි.
07. A, B, C, S වෙනුවට ප්‍රතිඵල වෙනස් වෙන්නේ කොහොම ද?
එක් එක් විෂයයන් සඳහා A,B,C ලෙස දැනට ලබා දෙන අගැයීම් ක්‍රමය වෙනුවට ශ්‍රේණි ලකුණු සාමාන්‍යයක් (GPA) ලබා දීමට ද මෙම නව ප්‍රතිසංස්කරණය යටතේ යෝජනා වී තිබේ.
එය දැනට විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන ක්‍රමවේදයට සමාන ක්‍රියාවලියකි.
Comments
Post a Comment
Your comment will be visible after approval