
ජාතික පොලිස් කොමිෂන් සභාවේ ගිණුම් අංශයට අයත් ගබඩාවක තිබූ රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමකින් යුත් මුද්‍රණ යන්ත්‍ර ටෝනර් තොගයක් සොරකම් කර ඇති බවට කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. එම ගබඩාව භාරව කටයුතු කරන කළමනාකරණ සේවා නිලධාරිනිය විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.
සිද්ධිය වඩාත් සංකීර්ණ කරමින්,
පොලිසියට පැමිණිලි කර නැවත කාර්යාලය වෙත පැමිණි නිලධාරිනියට, කොමිෂන් සභා භූමියේ එළිමහනේ දමා තිබූ කාඩ්බෝඩ් පෙට්ටියක් හමුවී තිබේ. එය පරීක්ෂා කිරීමේදී, සොරකම් කරන ලද වර්ගයට අයත් නොවන, වෙනත් වර්ග දෙකකින් යුත්, විවෘත කරන ලද ටෝනර් නවයක් එහි තිබී ඇත.
පැමිණිල්ලට අනුව, පසුගිය මැයි මස 9 වන දින ටෝනර් අටක් ගබඩාව වෙත ලැබී ඇති අතර, ඉන් එකක් කොමිසමේ අභියාචන අංශය වෙත නිකුත් කර තිබේ. ඉන් අනතුරුව, පසුගිය 9 වන දින මහජන පැමිණිලි අංශයේ අවශ්‍යතාවයක් සඳහා ටෝනරයක් ලබා දීමට සූදානම් වීමේදී, ඉතිරි ටෝනර් තොගය අස්ථානගත වී ඇති බව අනාවරණය වී ඇත. සොරකම් කරන ලද එක් ටෝනරයක වටිනාකම රුපියල් 47,200ක් බවද පැමිණිල්ලේ සඳහන් වේ.
කොමිෂන් සභා භූමියේ තිබී හමුවූ විවෘත කරන ලද ටෝනර් තොගය, මීට පෙර ගබඩාව මඟින් නිකුත් කරන ලද ඒවාද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැත. සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුව, ගබඩාවෙන් ටෝනර් නිකුත් කිරීමේදී කිසිවිටෙක ඒවා විවෘත නොකරන බවට පැමිණිලිකාරිය විසින් ලබාදුන් අතිරේක ප්‍රකාශයකින් පෙන්වා දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සටහන් පරීක්ෂක නිලධාරීන්ගේද සහාය ලබාගෙන ඇති අතර, කොමිෂන් සභා භූමියේ තිබී හමුවූ ටෝනර් නවය සහ කාඩ්බෝඩ් පෙට්ටිය වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් භාරයට ගෙන ඇත. කුරුඳුවත්ත පොලිසිය සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශනයක් දියත් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval