මත්ද්‍රව්‍ය ජාවාරමකට එරෙහි වීම හේතුවෙන් විදෙස්ගත සංවිධානාත්මක අපරාධ කල්ලියකින් ලැබුණු කොන්ත්‍රාත්තුවක් මත, පොලීසියෙන් බව පවසා පැමිණි පිරිසක් විසින් තරුණයෙකු පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමක් කහවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ. පසුගිය 30 වන දින රාත්‍රී 9.00ට පමණ මෙම අපරාධය සිදුවී ඇති අතර, එහිදී තවත් තරුණයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කහවත්ත, බිංගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි වියේ පසුවූ පහළගම විතානලාගේ ඉමන්ත සුරන්ජන නැමැති තරුණයෙකි.
කහවත්ත, පලන්සුරියගම, හල්ලිඳ ප්‍රදේශයේ පිහිටි නිවසකට ජීප් රථයකින් කඩා වැදුණු නාඳුනන සන්නද්ධ කණ්ඩායමක්, ජංගම දුරකථනයක තිබූ ඡායාරූපයක් පෙන්වා ඉමන්ත සුරන්ජන සහ ඔහුගේ මිතුරෙකු පැහැරගෙන ගොස් ඇත.
පැහැරගත් තරුණයින් දෙදෙනා කිලෝමීටර් පහක් පමණ දුරින් පිහිටි කහවත්ත-ඇන්දාන මාර්ගයේ දළුග්ගල නම් පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් තිබේ. එහිදී දෙදෙනාගේම දෑත් එකට මාංචු දමා එක් තරුණයෙකුගේ පාදයකට හා අනෙක් තරුණයාගේ සිරුරට වෙඩි තබා ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ 26 හැවිරිදි අනෙක් තරුණයා ප්‍රදේශවාසීන් විසින් මාංචුව කපා දමා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
ඝාතනයට ලක්වූ තරුණයාගේ මව වන රේණුකා මනතුංග මහත්මිය පවසන්නේ තම නිවුන් පුතුන් දෙදෙනාම ඝාතනය කිරීම අපරාධකරුවන්ගේ අරමුණ වන්නට ඇති බවයි. සිදුවීම වන අවස්ථාවේ එක් පුතෙකු පැන ගොස් සැඟවුණු නිසා ඔහුගේ ජීවිතය බේරුණු බවත්, නිවසේ සිටි පුතුගේ මිතුරා, තම අනෙක් පුත්‍රයා යැයි වරදවා වටහාගෙන පැහැරගෙන යන්නට ඇති බවටත් ඇය සැක පළ කරයි.
ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමට තම පුතුන් විරුද්ධ වීම නිසා වට්ස්ඇප් පණිවිඩ ඔස්සේ පවා ඔවුන්ට මරණ තර්ජන එල්ල වී තිබූ බව මව සහ පියා පවසති. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව සහ තර්ජන පිළිබඳව කහවත්ත පොලීසියට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නද, ඔවුන් කිසිදු පියවරක් නොගත් බවටත්,
තම පුතුගේ මරණයට පොලීසිය වගකිව යුතු බවටත් ඔවුහු චෝදනා කරති.
තම පුතු ක්‍රීඩාවට දක්ෂ, මනා අධ්‍යාපනයක් ලැබූ, පොලිස් සේවයට බැඳීමට සිහින මැවූ අයෙකු බවත්, ඔහු මත්ද්‍රව්‍යවලට සම්බන්ධ බවට ගෙනයන අපහාස නතර කර තම දරුවාට සාධාරණය ඉටුකර දෙන ලෙසත් රේණුකා මනතුංග මහත්මිය ඉල්ලා සිටියි. අපරාධය සිදුවූ ස්ථානයේ තිබී මියගිය තරුණයා දණ ගැස්සවූ බවට සලකුණු හමුවී ඇති අතර, ඝාතනයේදී භාවිත කළ මාංචු පිළිබඳවද පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණයක්ද පවත්වා ඇත. කහවත්ත පොලීසිය ප්‍රමුඛ පොලිස් කණ්ඩායම් හතරක් මෙම ඝාතනය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වයි. කෙසේ වෙතත්, ඝාතනයට ලක්වූ තරුණයාගේ පවුලේ අය විසින් එල්ල කරනු ලබන චෝදනා ප්‍රතික්ෂේප කරන කහවත්ත පොලීසිය පවසන්නේ, ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට තමන් නිරන්තරයෙන් වැටලීම් සිදුකර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval