bail-granted-to-piumi-hansamalis-son-threats-to-the-family-of-the-man-who-beat-him

ප්‍රකට නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ 17 වියැති පුත්‍රයා, පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවක් මත වැලිකඩ පොලිසිය විසින් අද (13) දින පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී. රාජගිරිය, කලපළුවාව ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුවී ඇති බව පොලිසිය තහවුරු කළේය.


පියුමි හංසමාලිගේ පුත්‍රයා යතුරු පැදියකින් ගමන් ගනිද්දී ත්‍රීරෝද රථයක් හා ඇතිවූ ගැටලුවක් මෙයට මුල්ව ඇත.
යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් අතර හටගත් සුළු රිය අනතුරක් මුල් කරගනිමින් ඇතිවූ බහින්බස් වීම මෙම පහරදීම දක්වා දුරදිග ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ. සැකකරු තවත් පිරිසක් සමග එක්වී ආරක්ෂිත හිස් ආවරණයකින් පහරදුන් බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.



මෙම පහරදීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු මේ වනවිට රෝහල්ගත කර ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. සිය සැමියාගේ හිසට සහ අතට හිස් ආවරණයකින් දස වතාවක් පමණ පහරදී ඇති බවට ඔහුගේ බිරිඳ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා ද මෙම අත්අඩංගුවට ගැනීම තහවුරු කළේය.

පසුව, වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත සැකකරු මුදා හැරීමට අධිකරණය නියෝග කරන ලදී. සිද්ධියට සම්බන්ධ බව කියන සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිකඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

මේ අතර සිද්ධියෙන් පසු තම පවුලට බලවත් පුද්ගලයින්ගෙන් තර්ජන එල්ලවී ඇතැයි පවසමින් අනතුරට ලක්වූ පුද්ගලයාගේ බිරිය පොලිසියට තවත් පැමිණිල්ලක් එල්ල කර ඇත.සිද්ධිය දුරදිග නොයවන ලෙස තර්ජනාත්මක ඇමතුමකින් දන්වා ඇත. දියනියන් තිදෙනෙකු සිටින තමා එළියට යාමට බියෙන් පසුවන බවද පහර කෑ පුද්ගලයාගේ බිරිය පවසා ඇත.
ශ්‍රී ලංකාවේ යතුරුපැදි රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු අවම වයස අවුරුදු 18 කි.
කෙසේ වෙතත්, වයස අවුරුදු 17 සම්පූර්ණ වූ පසු ඉගෙනුම් බලපත්‍රයක් (Learner's Permit) ලබා ගත හැකි අතර, එමගින් සුදුසුකම් ලත් අයෙකුගේ අධීක්ෂණය යටතේ යතුරුපැදි පැදවීම පුහුණු වීමට අවස්ථාව හිමි වේ.



gossiplanka image 1


gossiplanka image 2