a-person-who-committed-10-underworld-shootings-has-been-arrested-the-rent-for-each-is-one-hundred-thousand-rupees

 දිවයිනේ ප්‍රදේශ කිහිපයක වෙඩි තැබීම් දහයකට සම්බන්ධ ප්‍රධාන පෙළේ වෙඩික්කරුවෙකු අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් මාතර, කාලිදාස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.



මෙම වෙඩි තැබීම්, ඩුබායි රාජ්‍යයේ සිටින 'තම්මිට සුමිත්' නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සහ ඔහුගේ සගයෙකුගේ මෙහෙයවීමෙන් සිදුකර ඇති බවට විමර්ශන මගින් අනාවරණය වී ඇත. එක් වෙඩි තැබීමක් සඳහා සැකකරුට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවා ඇති බවට තොරතුරු ලැබී තිබේ.



සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය මාසයේ අනුරාධපුර, හල්කුලම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙනි. එම සිදුවීම පිළිබඳව සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී, තමන් විසින් සිදු කරන ලද තවත් වෙඩි තැබීම් ගණනාවක් පිළිබඳව ඔහු හෙළිදරව් කර ඇති අතර, ඉන් සිදුවීම් හතක් පිළිබඳ විස්තර මේ වන විටත් ලබා දී ඇත.

2024 වසරේ ආරම්භයේ සිට මෙම අපරාධ සඳහා රිවෝල්වරයක් සහ පිස්තෝලයක් යොදාගෙන ඇති අතර, අනුරාධපුර, ජා-ඇළ, ගම්පහ, මීගමුව සහ සීදුව යන පොලිස් බල ප්‍රදේශ තුළ මෙම වෙඩි තැබීම් සිදුකර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ ගනුදෙනු පියවීම පැහැර හැරීම, ජාවාරමට බාධා කිරීම් සහ තරගකාරී කල්ලි විසින් සිය ජාවාරම් කටයුතුවලට අත පෙවීම වැනි කරුණු මුල් කරගනිමින් විදේශගත අපරාධකරුවන් විසින් ලබාදුන් කොන්ත්‍රාත් මත මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බවට පොලීසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.