සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන කිහිපයකට ඊයේ (16) සවස් භාගයේදී බලපෑ ටොනේඩෝවකට සමාන ප්‍රබල සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස රැසකට හානි සිදුවී ඇති බව මොනරාගල ආපදා කළමනාකරණ ඒකකය වාර්තා කරයි.
මෙම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් වේරගොඩ, නැව්ගල, කොටාගොඩ සහ කෝංගස්පිටිය යන ගම්මානවල නිවාස විස්සකට ආසන්න සංඛ්‍යාවක වහලවල්වලට හානි සිදුව ඇති බව එම ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.එච් රවීන්ද්‍ර කුමාර මහතා තහවුරු කළේය. ඊට අමතරව ඇතැම් නිවාස මතට ගස් කඩා වැටීමෙන් ද අලාභ සිදුව තිබේ.
සුළඟේ බලපෑමෙන් ගම්මාන තුළ මාර්ග අවහිර කරමින් කඩා වැටී තිබූ ගස්, සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් කඩිනමින් ඉවත් කර ගමනාගමනය යථා තත්ත්වයට පත් කර ඇත.
මේ වන විට ග්‍රාම නිලධාරීවරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තාක්ෂණික නිලධාරීන් සහ ආපදා කළමනාකරණ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් සිදුව ඇති හානි තක්සේරු කිරීමේ කටයුතුවල නිරතව සිටී. එම තක්සේරු වාර්තා මත පදනම්ව වන්දි ලබා දීමට කටයුතු කරන බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.
මේ පිළිබඳව අදහස් දැක්වූ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් අසංග දයාරත්න මහතා සඳහන් කළේ, තක්සේරු වාර්තා ලද වහාම අලාභහානි වූ නිවාස සඳහා වන්දි ගෙවීමට කටයුතු කරන බවත්, අවශ්‍යතාවය මත විපතට පත් පවුල් වෙත වියළි සලාක ලබා දීමටද සූදානම් බවත්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval