බංග්ලාදේශයේ ඩකා අගනුවර උත්තරා ප්‍රදේශයේ පිහිටි මයිල්ස්ටෝන් විද්‍යාල භූමියට, බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් කඩා වැටීමෙන්, මේවනවිට ලැබෙන වාර්තා අනුව ගුවන් නියමුවා සහ ගුරුවරියක ඇතුළු පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. මියගිය අයගෙන් බහුතරය එම විද්‍යාලයේම සිසුන් වීම හේතුවෙන් මුළු රටම කම්පනයට පත්ව ඇති අතර, තවත් 78 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මෙම දරුණු ඛේදවාචකය හමුවේ බංග්ලාදේශ රජය ඊයේ (22) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව, රට පුරා සියලුම රාජ්‍ය, අර්ධ-රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල මෙන්ම විදෙස් දූත මණ්ඩලවලද ජාතික ධජය අඩකුඹු කර තැබීමට පියවර ගෙන ඇත. තවද, අනතුරින් තුවාල ලැබූ සියලු දෙනාට පෞද්ගලික රෝහල්වලදී පවා සම්පූර්ණයෙන්ම නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස රජය නියෝග කර ඇති අතර,
මියගිය සහ තුවාල ලැබූවන් සිහිකර ආගමික ස්ථානවල විශේෂ දේව මෙහෙයන් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන උපදේශකගේ විශේෂ සහකාර මහාචාර්ය වෛද්‍ය සයිදුර් රහ්මාන් මහතාට අනුව, ජාතික පිළිස්සුම් හා ප්ලාස්ටික් සැත්කම් ඒකකයට පමණක් පුද්ගලයින් 42 දෙනෙකු ඇතුළත් කර ඇති අතර, ඉන් 10 දෙනෙකු මියගොස් ඇත. එම ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පස් දෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බවද, ඉන් දෙදෙනෙකු කෘත්‍රිම ශ්වසන ආධාරක මත සිටින බවද ඔහු පැවසීය. ඒකාබද්ධ යුධ රෝහලේ මළ සිරුරු 15ක් තැන්පත් කර ඇති අතර තවත් 28 දෙනෙකු එහි ප්‍රතිකාර ලබයි.
මේ අතර, අනතුරින් අතුරුදන් වූ තම දරුවන් සහ ඥාතීන් සොයා දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් රෝහල් අතරේ දැඩි කම්පනයෙන් සහ වේදනාවෙන් සැරිසරන අයුරු දක්නට ලැබේ. බලධාරීන් පවසන්නේ මියගිය අයගෙන් හය දෙනෙකුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති අතර, ඔවුන් හඳුනා ගැනීම සඳහා DNA පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවයි.
මේ වන විට හඳුනාගත් මළ සිරුරු 20ක් පමණ ඥාතීන් වෙත භාරදී ඇති අතර, ඒ අතර ගුවන් නියමු ලුතිනන් තවුකීර් ඉස්ලාම් සහ ගුරුවරියක වන මහ්රීන් චෞද්‍රි ද වෙති.
අන්තර් සේවා මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ මණ්ඩලය (ISPR) නිවේදනය කළේ, බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් F-7 BGI වර්ගයේ පුහුණු ගුවන් යානයක් සඳුදා (21) දහවල් 1.06ට ගුවන් ගතවී සුළු මොහොතකින් මෙලෙස විද්‍යාල භූමියට කඩා වැටී ඇති බවයි.
පවතින තත්ත්වය හමුවේ, සිංගප්පූරු මහ රෝහලෙන් තාක්ෂණික සහාය ඉල්ලා සිටීමටද බංග්ලාදේශ බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වේ. රෝහල්වලට අනවශ්‍ය ලෙස රැස්වීමෙන් වළකින ලෙසත්, සෘණ කාණ්ඩයේ රුධිර දායකයින් හැර අනෙකුත් අය රුධිරය දීමට පැමිණීමෙන් වැළකී සිටින ලෙසත් සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, එමගින් රෝහල් කළමනාකරණ කටයුතුවලට බාධා එල්ල වන බැවිනි.
Comments
Post a Comment
Your comment will be visible after approval