we-cannot-be-responsible-for-dengue-mosquitoes-principals-oppose-circular

 පාසල්වල ඩෙංගු හා චිකුන්ගුන්‍යා රෝගවාහක මදුරුවන් සිටින ස්ථාන හඳුනා ගතහොත් එහි වගකීම විදුහල්පතිවරුන්ට පවරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ

චක්‍රලේඛයට විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය. විරෝධය පළකර සිටී. දිවයින පුරා සියලු විදුහල්පතිවරුන් චක්‍රලේඛය ඉවත් කර ගන්නා ලෙසට බල කරමින් ලබන 15දා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පැවැසීය.




ඩෙංගු හා චිකුන්ගුන්‍යා මර්දනය කිරීමට අවශ්‍ය කාර්ය මණ්ඩල විදුහල්පතිවරුන්ට ලබාදී නොමැති බව කී ප්‍රධාන ලේකම්වරයා මදුරු වාහක ස්ථානවලට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී විදුහල්පතිවරුන්ට පෞද්ගලිකව පෙනී සිටිය නොහැකි බව සඳහන් කළේය. පාසල්වල මදුරුවන් බෝවන ස්ථාන පැවතීම පිළිබඳව විදුහල්පතිවරුන්ට පෞද්ගලිකව වගකිව නොහැකි බව කී හෙතෙම විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ ප්‍රශ්න නොවිසඳා විදුහල්පතිවරුන් බිල්ලට දීමට ආණ්ඩුව උත්සාහ කරන බව කීවේය.


"පාසල් පරිශ්‍රවල ඩෙංගු සහ චිකුන්ගුන්‍යා රෝග නිවාරණය සඳහා කටයුතු සිදුකිරීම" මැයෙන් අධ්‍යාපන,

උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා මදුරු මර්දන වැඩසටහන සිදුකළ යුතු ආකාරය ED/01/16/04/02/02 චක්‍රලේඛය මඟින් සියලුම පළාත් අධ්‍යක්ෂවරුන් හරහා විදුහල්පතිවරුන්ට පසුගිය 04 වැනිදා දැනුම් දී තිබිණි.

පාසල් පරිශ්‍රවල ඩෙංගු සහ විකුන්ගුන්‍යා රෝග නිවාරණ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසත් පාසල් ආශ්‍රිත පරිසරය මදුරුවන්ගෙන් තොරව ආරක්ෂිතව පවත්වාගෙන යෑමට 2010/22 හා 30/2017 චක්‍රලේඛ හා උපදෙස් ලිපි පිළිපැද ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් එමඟින් අවධාරණය කර ඇත. පාසල් පරිශ්‍ර තුළ රෝග වාහක මදුරුවන් සිටින ස්ථාන හඳුනා ගතහොත් විදුහල්පති පෞද්ගලිකව වගකීමට බැඳෙන බවත්, එවැනි අවස්ථාවලදී විදුහල්පතිවරුන්ට නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවන බවත් එමඟින් දැනුම් දී තිබේ.