"මුනි නන්දන සිරි පාද වදිමි සමනෙළ කන්දේ" යන ජනප්‍රිය ගීතය ඇතුළු තවත් සුප්‍රකට ගීත රැසක් ගායනා කළ ශ්‍රී ලංකාවේ ග්‍රැමෆෝන් වංශ කතාවේ ඉතිරිව සිටි අවසාන ජීවමාන සාක්ෂිකරුවන් අතරින් කෙනෙකු වූ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනී ග්‍රේටා ජැනට් ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත. පසුගිය මැයි මස 06 වැනි දින ඇය සිය ජීවිතයේ 99 වැනි වසර සම්පූර්ණ කර තිබේ.
1926 මැයි මස 06 වැනි දින මීගමුවේදී උපත ලැබූ ලියනගේ ග්‍රේටා ජැනට් ද සිල්වා මහත්මිය "මුනි නන්දන සිරි පාද වදිමි සමනෙළ කන්දේ" ඇතුළු තවත් ජනතාව අතර ඉතා ජනප්‍රිය වූ ගීත රැසක් ගායනා කළ ශිල්පිනියකි.
ඇගේ සංගීත දිවියේ ආරම්භය සනිටුහන් කරමින් 1938 වසරේදී ලංකා ෆිල්ම් කොම්පැනි ග්‍රැමෆෝන් තැටියකට ඇගේ හඬ මුල්වරට සටහන් කරන ලදී. "පානා මේ කුරුලන්ගේ" සහ "මෙරුන් වගේ සතර අතින්" යන විරිදුව එම තැටියේ අඩංගු විය. මෙය ගායිකාවක විසින් ප්‍රථම වරට තැටිගත කරන ලද විරිදුවක් ද වේ.
1938 වසරේදීම, කොළොම්බියා තැටි සමාගමේ ප්‍රධාන ගීත ප්‍රබන්ධ ශාස්ත්‍රඥ යූ.ඩී. පේරා මහතාගේ මැදිහත්වීම හා උනන්දුව මත ග්‍රේටා මහත්මිය කොළොම්බියා ලේබලයේ ගායිකාවක ලෙස ගිවිසුම්ගත වූවාය. ඇය මුල්වරට කොළොම්බියා තැටි දෙකක යුග ගීත දෙකක් සහ තනි ගීත දෙකක් ගායනා කළාය. ග්‍රේටා සමඟ යුග ගීත ගැයූ ශිල්පියා මාස්ටර් මොහිදීන් බෙග් මහතා විය.
ඉතා කෙටි කාලයක් තුළ ග්‍රැමෆෝන් ක්ෂේත්‍රයේ ස්වර්ණාක්ෂරයෙන් සිය නාමය සනිටුහන් කිරීමට සමත් වූ ග්‍රේටා ජැනට් මහත්මිය කොළොම්බියා සමාගමේ ප්‍රධාන ගායිකාව බවට පත්විය. කොළොම්බියා තැටි සඳහා ඇය සරළ ගීත, සරළ ශාස්ත්‍රීය ගීත, කපිරිඤ්ඤා ආදී විවිධ ශෛලීන්ගේ ගීත ගායනා කළාය. මේ කාලය තුළදී කොළඹ ගුවන්විදුලි සේවයේ ගීත ගැයීමටද ග්‍රේටා ජැනට් මහත්මිය සමත් වූවාය.
විවාහයෙන් පසුව 1945 වසරින් පසු තැටිගත කිරීම් සඳහා ගීත ගැයීම නතර කිරීමට සිදුවුවද, ලංකා ගුවන්විදුලි වැඩසටහන් සඳහා 1950 වසර පමණ වනතෙක් දායක වීමට ඇයට හැකියාව ලැබුණි.
එස්.ඩී. ස්ටීවන් සිල්වා, මාස්ටර් මොහිදීන් බෙග්, එඩී ජයමාන්න, ස්ටැන්ලි මල්ලවාරච්චි, වසන්තා සන්දනායක ආදී ප්‍රවීණ ගායක ගායිකාවන් සමඟ ගීත ගැයීමේ වාසනාව හිමි වූ ග්‍රේටා ජැනට් මහත්මිය කොළොම්බියා ග්‍රැමෆෝන් තැටි සඳහා ගීත 29ක් ගායනා කර ඇත.
ග්‍රේටා ජැනට් ද සිල්වා මහත්මියගේ දේහය මීගමුව, කට්ටුව, හලාවත පාරේ අංක 115 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු ජූනි මස 05 වැනි දින සවස 4.00ට කට්ටුව පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනු ඇත.
ශ්‍රී ලංකාවේ ග්‍රැමෆෝන් සංගීත ක්ෂේත්‍රයේ පුරෝගාමියකු මෙන්ම, මුල් යුගයේ සිංහල ගීතයේ උන්නතිය වෙනුවෙන් අගනා සේවයක් ඉටු කළ ග්‍රේටා ජැනට් ද සිල්වා මහත්මියගේ අභාවය සංගීත ලෝලීන් සහ කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ සෝකයට හේතු වී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval