ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක්, රෝහලේ කළමනාකරණ සහකාරවරයෙකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු දූෂණ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (අල්ලස් කොමිෂන්) විසින් අද දින අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය වන EVD (External Ventricular Drain) සහ VP SHUNT (Ventriculoperitoneal Shunt) යන මෙවලම් රෝහලේ වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර,
රෝහල් කාර්ය මණ්ඩලය හා අදාළ වෛද්‍යවරිය යටතේ පාලනය වූ බාහිර ආයතන මගින් ඉහළ මිලකට ලබා ගැනීමට රෝගීන්ට උපදෙස් දීම සම්බන්ධයෙනි. මේ හරහා රෝගීන්ට සැලකිය යුතු මූල්‍යමය පාඩුවක් සිදුවන අතර, වෛද්‍යවරිය හෝ බාහිර පාර්ශවයන්ට අයථා ලාභයක් ලබා ගැනීමේ චෝදනාව ද ඔවුන්ට එල්ල වී තිබේ.
අල්ලස් කොමිෂන් විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂී සුරසිංහ විජේරත්න, එම රෝහලේ කළමනාකරණ සහකාරවරයෙකු වන කැකුලන්දල ලියනගේ ඉන්දික සහ ඉහත වෛද්‍යවරිය අනීතිකව පවත්වාගෙන ගිය පුද්ගලික ආයතනයක සේවය කළ කඩවත ප්‍රදේශයේ පදිංචි මුතුකුඩ ආරච්චිගේ නිමල් රංජිත් මුතුකුඩ යන තිදෙනා බව අල්ලස් කොමිෂන් ප්‍රකාශකයෙකු මාධ්‍යයට සඳහන් කර තිබේ.
විමර්ශන වාර්තා අනුව,
EVD යන මෙවලම 2022 වර්ෂයේදී වෛද්‍ය සැපයුම් අංශයේ මිල රුපියල් 17,500/- ක් පමණ වූ අතර, එහි සාමාන්‍ය වර්තමාන වෙළඳපොළ මිල රුපියල් 46,500/- ක් පමණ වේ. එසේ වුවද, අදාළ වෛද්‍යවරියගේ නිර්දේශ මත ඇය විසින් යොමු කරනු ලැබූ බාහිර පාර්ශ්වයන් මගින් රෝගීන් මෙම මෙවලම් ලබා ගැනීමේදී රුපියල් 120,000/- සිට රුපියල් 250,000/- දක්වා වූ වටිනාකමක් ගෙවීමට සිදුව ඇති බව කොමිෂන් සභාව වැඩිදුරටත් අනාවරණය කර තිබේ.
කොමිෂන් සභාවේ මූලික විමර්ශනවලට අනුව, මේ ආකාරයට ශල්‍ය කර්මයන්ට භාජනය වූ රෝගීන් 300ක පමණ පිරිසක් හඳුනාගෙන ඇති අතර, එයින් 77 දෙනෙකුගේ ප්‍රකාශ මේ වන විට සටහන් කරගෙන තිබේ. කනගාටුදායක කරුණ නම්, මෙම ශල්‍ය කර්මවලට භාජනය වූ ඉහත පිරිසෙන් සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි. විමර්ශන වාර්තා අනුව, ප්‍රකාශ සටහන් කරගත් පිරිසට අදාළව රෝගීන්ට රුපියල් කෝටි තුනකට (මිලියන 30කට) ආසන්න මූල්‍ය පාඩුවක් සිදුවී ඇති බව අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත්,
වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බවත් කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසීය.
මෙම සිද්ධිය රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු මතුකරන අතර, රෝහල් පද්ධතිය තුළ ඇති දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව පෙන්නුම් කරයි. අල්ලස් කොමිෂන් සභාව දැනට මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර තොරතුරු සොයමින් සිටින අතර, මෙවැනි ක්‍රියාවන් නිසා රෝගීන්ට සිදුවන බලපෑම සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරමින් පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval