three-more-arrested-in-connection-with-the-rs-130-million-fraud-at-the-state-bank

කඩුවෙල රාජ්‍ය බැංකුවක සිදුව ඇතැයි කියන රුපියල් කෝටි 13කට අධික මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් තවත් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය සඳහන් කරන අන්දමට අත්අඩංගුවට ගත් තිදෙනා අතර සහෝදරයකු සහ සහෝදරියක ද සිටී.

මෙම පුළුල් මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මීට පෙර එම බැංකුවේ ප්‍රධාන මුදල් අයකැමිවරයා හා තරුණියක් ද අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති බව පොලිස් ප්‍රකාශකයෙක් වාර්තා කරයි.



වංචාව සිදුවූ ආකාරය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් අනාවරණය වී ඇති අන්දමට, මෙම මුදල් වංචාවේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන රාජ්‍ය බැංකුවේ ප්‍රධාන මුදල් අයකැමිවරයා වෙත ගම්පහ ප්‍රදේශයේ තරුණියක් විසින් ඉකුත් 28 වැනිදා වස්ඇප් ඇමතුමක් ලබා දී ඇත. එම ඇමතුමේදී තරුණිය විසින් ඔහු සමඟ හිතවත්වී, තමන් විසින් තැන්පත් කරන මුදලට දෛනිකව සියයට දහයක මුදලක් ලබාගත හැකි බවට පොරොන්දුවක් ලබා දී ඇත.

මෙම යෝජනාවට අනුව, ප්‍රධාන සැකකරු විසින් එම දිනයේම තරුණිය ලබා දුන් ගිණුම් අංකයට රුපියල් 30,000ක මුදලක් බැර කර ඇත. පැය කිහිපයක් ගතවීමෙන් පසු, සැකකරුගේ ගිණුමට රුපියල් 33,000ක මුදලක් බැර වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම ප්‍රතිලාභය දුටු පසු, ප්‍රධාන සැකකරු විශාල පරිමාණයේ මුදල් වංචාවක් සිදු කිරීමට තීරණය කර ඇත.

පසුදින (29 වැනිදා) රාජකාරි සඳහා බැංකුව වෙත පැමිණි ප්‍රධාන සැකකරු, එම තරුණියගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 50ක් බැර කර ඇත. අනතුරුව ඔහු, ඇය විසින් ලබා දුන් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ගිණුම් රැසකට ද ඒ ආකාරයෙන් ලක්ෂ ගණනින් මුදල් බැර කර ඇත. ඊට අමතරව, සැකකරුගේ පෞද්ගලික බැංකු ගිණුමට ද රුපියල් කෝටි 8කට වැඩි මුදලක් බැර කරගෙන ඇත.

විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට, පැය නවයක පමණ කාලයක් තුළ සැකකරු විසින් රුපියල් කෝටි 13.51කට අධික මුදලක් විවිධ ගිණුම්වලට බැර කරවාගෙන ඇත. ඉන්පසු ඔහු ජංගම දුරකථන මෘදුකාංගයක් ඔස්සේ එම මුදල් විවිධ පුද්ගලයන්ගේ ගිණුම්වලට මාරු කර ඇත.



සැකකරුවන් පිළිබඳ තොරතුරු

පොලිස් විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වී ඇත්තේ, මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ එකම නිවසක පදිංචි පිරිමි පුද්ගලයකුට සහ ඔහුගේ ඥාති සහෝදරියට රුපියල් ලක්ෂ 50 බැගින් බැර කර ඇති බවයි. තවද, මොරටුව අඟුලාන ප්‍රදේශයේ පුද්ගලයකුට ද රුපියල් ලක්ෂ 20ක මුදලක් බැර කර ඇති බව ද හෙළි වී ඇත.

ප්‍රධාන සැකකාරිය ඇතුළු සැකකරුවන් තිදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. දැනට රිමාන්ඩ් භාරයේ පසුවන රාජ්‍ය බැංකුවේ ප්‍රධාන මුදල් අයකැමිවරයා, මෙරට හෝ විදේශ රටක ක්‍රියාත්මක මහා පරිමාණ මුදල් ජාවාරමකට හසුවී ඇති බවත්, සෙසු සැකකරුවන්ද ඊට හවුල් කරගෙන ඔවුන්ගේ ගිණුම් මගින් මුදල් වංචාවේ යෙදී ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇත.

සංවිධානාත්මක ජාවාරමක්

උසස් පොලිස් නිලධාරියාගේ ප්‍රකාශයට අනුව, "නිවසේ සිටම මුදල් ඉපයීමේ රැකියාවකට ඔබත් කැමතිද?" යන මැයෙන් සහ විවිධ මාතෘකා යටතේ අන්තර්ජාලය හරහා විවිධ රැකියාවන් සඳහා යැයි පවසමින් මෙම ජාවාරමට පුද්ගලයන් ඉතා සූක්ෂම ලෙස සම්බන්ධ කරගෙන ඇත. එමඟින් මෙරට මුදල් විදේශ රටවලට ඇද ගැනීමේ ජාවාරමක් ද ඉතා සංවිධානාත්මකව ක්‍රියාත්මක වන බව මෙම සිද්ධියෙන් පැහැදිලි වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24, 30 හා 48 අතර පසුවන බව වාර්තා වන අතර, ඔවුන්ට එරෙහිව සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, මුදල් වංචා කිරීමට ආධාර අනුබල දීම, මුදල් විශුද්ධිකරණය කිරීම සහ පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කිරීමට නියමිතය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශ දෙක විසින් දැනට පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ.