there-is-nothing-wrong-with-taking-essential-medicines-without-a-prescription

 අත්‍යවශ්‍ය ඖෂධ රජයේ රෝහල් පද්ධතිය තුළ නොමැති විටෙක රෝගී ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා පූර්ණ විනිවිදභාවයෙන් හා කඩිනමින් කටයුතු කර ඒවා ප්‍රාදේශීයව මිල දී ගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.ප්‍රාදේශීයව සිදු කරන ඖෂධ මිල දී ගැනීම් පූර්ණ විනිවිදභාවයෙන්, කඩිනමින් සිදු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය අවංක නිලධාරින් වෙනුවෙන් නිරතුරුවම පෙනී සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.




වෛද්‍ය සැපයීම් දේශීයව මිල දී ගැනීම් සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩමුළුවකට කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය අංශයේ ශ්‍රවණාගාරයේ දී ඊයේ (24) එක්වෙමින් ඔහු මේ බව පැවසීය.රජයේ රෝහල් පද්ධතිය තුළ යම් යම් අවස්ථාවන්හි දී ඇතිවන ඖෂධ හිගයට විසඳුම් සෙවීමට කටයුතු කිරීම මෙන් ම වර්තමාන ඖඖෂධ කළමනාකරණ පද්ධතිය වන “ස්වස්ථා” පද්ධතිය හරහා සිදුවන මිල දී ගැනීම් සහ

එම කටයුතුවල දී පැන නගින ප්‍රායෝගික ගැටලුවලට විසඳුම් සෙවීම මූලික කරගනිමින් මෙම වැඩමුළුව පැවැත්විණි.

ඖෂධ දේශීයව මිල දී ගැනීම් පිළිබඳව නිවැරැදි අවබෝධයක් සමහර සෞඛ්‍ය ආයතන භාර නිලධාරින්ට නොමැති බවත් දේශීය මිල දී ගැනීම් සම්බන්ධව 2023 මාර්ගෝපදේශයක් සකස් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.රෝහලක් තුළ බාහිර රෝගී අංශයේ රෝගීන්ට, සායන රෝගීන්ට ඇතුළු විවිධ අවස්ථාවල ඖෂධ මිල දී ගැනීමේ ක්‍රියාවලිය සිදුවන ආකාරය පිළිබඳ පැහැදිලිව ඒ තුළින් පෙන්වා දී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ සියල්ලටම නීතිමය රැකවරණය ලබාගැනීම සඳහා නිසි කලට ඖෂධ සමාලෝචන කමිටු ඒ ඒ රෝහල්වල පැවැත්විය යුතුව තිබෙන බව ද ඔහු කීවේය. රෝහල් මට්ටමින් එක් එක් අංශ ගත් විට ඒ ඒ අංශවලට අවශ්‍ය ඖෂධ වර්ග තෝරාගෙන ඖෂධ අටසිය හැට ගණනක සහ ශල්‍ය උපකරණ දොළොස් දහස් ගණනකින් යුත් ලැයිස්තුව සකස් කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 


විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනවලින් විමසා මාර්ගෝපදේශයන්ට අනුව

නම් කරන ලද ඖෂධ එම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙන බවද වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය. ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ඉන් එහා ගිය ඖෂධ නිර්දේශ කරන බවත්, එම ඖෂධ ලැයිස්තුවේ නොමැති වීම හේතුවෙන් එම ඖෂධ ද ඖෂධ හිඟය යන පැත්තට වැටෙන හෙයින් ඖෂධ හිඟය පිළිබඳ ගැටලුවේ දී එයත් ප්‍රධාන ගැලුවක් වන බව ද ඔහු ප්‍රකාශ කළේය.


පෞද්ගලික අංශයේ ඖෂධ සඳහා මිල නියාමනයක් මේ වන විට නොමැති බැවින් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ඖෂධ මිල නියාමන යාන්ත්‍රණයක් සකස් කරමින් සිටින බවද විජේමුණි මහතා කීවේය.

ඉදිරියේ දී පෞද්ගලික ඔසුසල්වල ඖෂධ ද මිල නියාමනයකට ලක් කරන බවත් මෙය සිදු කිරීමෙන් පසුව ප්‍රාදේශීය මිල දී ගැනීමේ ක්‍රියාවලියට ද පහසුවක් වන බව ද අමාත්‍යවරයා පැවසී ය.

වැඩමුළුව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මනුජ් සී. වීරසිංහ, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර, ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.