
ඉන්ධන මිලේ විශාල ඉහළ යෑමක් හෝ ඉන්ධන හිඟයක් මෑතකදී කිසිසේත්ම ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ආචාරිය මයුර නෙත්තිකුමාරගේ මහතා ඊයේ (23) පැවසීය. ඛනිජ තෙල් සංස්ථාව සතුව මාස දෙකකට ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත් අගෝස්තු මස දක්වා ඉන්ධන ඇණවුම් කර, දෙසැම්බර් අවසානය දක්වා ඉන්ධන ටෙන්ඩර් කැඳවීමට සූදානම් කර ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා කීවේය.
මැදපෙරදිග කලාපයේ යුදමය තත්වය දරුණු අතට හැරුණහොත් එය සමස්ත ලෝකයටම බලපෑමක් ඇති කරන නිසා ශ්‍රී ලංකාවට ද එයින් ගැලවීමට නොහැකි බව කී නෙත්තිකුමාරගේ මහතා එසේ නොමැතිව යුදමය තත්වය පහව ගියහොත් ගැටලුවක් නොවන බවද ප්‍රකාශ කළේය. වර්තමාන තත්වය යටතේ ජනතාව අනියත බියක් ඇතිනොකරගත යුතු බවත් ලෝක ප්‍රවණතා අනුව කටයුතු කිරීමට ආණ්ඩුව සූදානමින් සිටින බවත් ඒ මහතා කීය. මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල තීරණ්ය කිරිමේ දී පසුගිය මාස මිල පාදක කර ගැනීම නිසා ඉදිරි දිනවල දී ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යෑමේ කිසිඳු අවස්ථාවක් නොමැති බවත් ඉන්ධන මිල රුපියලකින්, දෙකකින් ඉහළ යෑම සාමාන්‍ය තත්වය බවත් නෙත්ති කුමාරගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.