the-president-has-abused-the-amnesty-and-even-released-murderers

ජනාධිපති පොදු සමාව අවභාවිතා කරමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සාමාන්‍ය සිරකරුවන් පමණක් නොව මිනීමැරුම් චෝදනා ලැබ වරදකරුවන් වූ පුද්ගලයන් පවා නිදහස් කර යවා ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (25) අනාවරණය කළේය.



වැඩතහනමට ලක්ව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ශී හේරත් මහත්මිය අධිකරණයට පැවසුවේ, විමර්ශනයන්ගෙන් අනාවරණය වී ඇත්තේ ජනාධිපති පොදු සමාවට මුවා වී බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිරකරුවන් 68 දෙනෙකු නීති විරෝධී ලෙස නිදහස් කර ඇති බවයි.

"මෙම සිද්ධියේදී මූලික වශයෙන් කරුණු ඉදිරිපත් වුයේ සහ විමර්ශන ආරම්භ කළේ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු වන විජයකෝන් මුදියාන්සේලාගේ අතුල තිලකරත්න නමැත්තා අනීතිකව නිදහස් කිරීම සම්බන්ධයෙන් වූ කාරණාවක් මුල් කරගෙනයි. නමුත් මේ වන විට මේ සිද්ධිය පුළුල්ව පැතිර ගොස් ඇති අතර, ජනාධිපති පොදු සමාවට මුවාවෙලා මේ ආකාරයෙන් තවත් සැකකරුවන් විශාල ප්‍රමාණයක් මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශන කරනවා," යැයි හේරත් මහත්මිය පැවසුවාය.




නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය වැඩිදුරටත් පැවසුවේ සැකකරු බන්ධනාගාරගතව සිටියදී පවා සාක්ෂි වලට බලපෑම් කර ඇති බවත්, එම නිසා ඔහු තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම අත්‍යවශ්‍ය බවත්ය. එසේම සැකකරු, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ පරිසරයට ආසන්නව ඇති වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තිබීම සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවීමේ අවදානමක් ඇති බැවින්, ඔහු වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවීමට නියෝග කරන ලෙසද හේරත් මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

"මේක ඒ තරමටම පුළුල් විමර්ශනයක්. පසුගිය වෙසක් පුන් පොහෝ දින ජනාධිපති සමාව යටතේ නිදහස ලැබුවේ යැයි සඳහන් කරමින් මුදාහල පුද්ගලයාගේ ක්‍රියා කලාපය සාධාරණීකරණය කිරීම සඳහා මෙම සැකකරු විසින් ලේඛණ සකස් කර ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වී තිබෙනවා," යැයි ඇය පැවසුවාය.


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට තවදුරටත් කරුණු ඉදිරිපත් කරමින් පැවසුවේ, සැකකරු වන උපුල්දෙණිය මහතා 2025 ජුනි 6 වැනි දින අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරියට ලිපියක් යවා ඇති බවත්, එම ලිපියට ජාතික පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් හා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාගේ ලිපියක් අමුණා ඇති බවත්ය.

"ඒ ලිපිය එවන්න කියලා කරුණු විමසූ කෙනෙක් නැහැ. අනුරාධපුරයෙන් එවපු ලිපිය කොළඹට ලැබුණා කියල හෝ ෆැක්ස් මඟින් ලැබුණා කියලා හෝ රාජ්‍ය ලේඛනයක් කියලා හෝ කිසිදු සටහනක් හෝ නිල මුද්‍රාවකුත් නැහැ. රජයේ ආයතනයකට ලිපියක් ලැබෙනවා නම් ඊට ක්‍රියා පිළිවෙතක් තියෙනවා," යැයි ඇය පැවසුවාය.

"පැමිණිල්ලේ ස්ථාවරය තමයි මේ ලිපිය සැකකරු විසින් නිර්මාණය කරපු එකක්. සැකකරු තමන් කරපු දේ සාධාරණීකරණය කරන්න මෙහෙම ලිපි හදන්න පුලුවන්නම්, මේ පුළුල් විමර්ශනයේදී ඇප ලැබුණහොත් මොහුට අනික් සාක්ෂි වලට බලපෑම් කරන්නත් අවස්ථාව තියෙනවා."


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය තවදුරටත් අනාවරණය කළේ, විමර්ශනවලින් මරණ දඬුවම නියම වූ සිරකරුවන් පවා නීති විරෝධී ලෙස නිදහස් කර යවා ඇති බවයි.

"මරණ දඬුවම නියම වූ සිරකරුවන් පවා එළියට ගිහිල්ලා තියෙනවා කියලා විමර්ශනවලින් අනාවරණය වෙලා තියෙනවා. අද සැකකරුට පෙනී ඉන්න උගත් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නකොට පෙනී සිටි එක් විත්තිකාරියකට මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කරනවා. ඒ තමයි මිල්රෝයි ප්‍රනාන්දු මහතාගේ බිරිඳ. ඇයත් එළියට ගිහිල්ලා. මිනිමැරම් චෝදනාවකට වරදකාරිය වූ විත්තිකාරියක් කොහොමද එලියට යන්නේ? ඒක කිසිසේත් වෙන්න බැහැ," යැයි ඇය පෙන්වා දුන්නාය.


නීතිපති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ, සිරකරුවන් නිදහස් කිරීම සඳහා බන්ධනාගාරය තුළ කිසිදු නීත්‍යානුකූල ලේඛනයක් නොමැති බවයි.



"සිරකරුවන් නිදහස් කළා කියන්න බන්ධනාගාරයේ ඇතුලේ කිසිදු ලේඛනයක් නැහැ. හැබැයි බන්ධනාගාර දොරටුවේ තිබෙන ලේඛනවල හිස් ගෙඩි ටිකක් එලියට ගියා කියලා සටහන් තිබෙනවා. බන්ධනාගාර ලැයිස්තුවල, පොදු සමා ලැයිස්තුවල, නැතුව මෙහෙම සිරකාරයෝ එළියට දාන්න පුලුවන්ද? තමන්ගේ ක්‍රියාවක් සාධාරණීකරණය කරන්න මෙහෙම ලේඛණ හදන්න පුළුවන් නම් අනිත් බන්ධනාගාර වලට මොහුට කොහොම බලපෑම් කරන්න පුළුවන්ද?" යනුවෙන් හේරත් මහත්මිය ප්‍රශ්න කළාය.

"මොහු මුදා හැරියහොත් මේ වගේ පුදුම සහගත ලේඛණ තවත් එළියට එන්න පුළුවන්. මේ තත්ත්වය වඩාත් හොඳට පැහැදිලි කරනවානම්, මරණ දඬුවම නියම වූ සිරකරුවන් පවා එළියට ගිහිල්ලා තියෙනවා," යැයි ඇය අවධාරණය කළාය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අවසාන වශයෙන් පැවසුවේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාධාරණ කාලයක් අවශ්‍ය බවත්, එම නිසා සැකකරු තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තැබීම අත්‍යවශ්‍ය බවත්ය.

"මේ විමර්ශනය කරන්නේ එක් පුද්ගලයෙක් බන්ධනාගාරයෙන් මුදා හැරීම ගැන නෙවෙයි. සිරකරුවන් රාශියක් ජනාධිපති පොදු සමාවට මුවාවෙලා මුදා හැරලා තියෙනවා. ඒ වගේ සුවිශේෂී තැන් විමර්ශනය කිරීමට විමර්ශන නිලධාරීන්ට අවස්ථාව ලබා දිය යුතුයි," යැයි හේරත් මහත්මිය අධිකරණයට පැවසුවාය.

විමර්ශනයේ වැඩිදුර කටයුතු සඳහා නඩුව 2025 ජූලි මස 3 වැනි දිනට කල් තැබිණි.