ඇමරිකා එක්සත් ජනපද ප්‍රහාර මගින් ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථාන "දැඩි ලෙස හානියට පත් කර" ඇති බව CIA ප්‍රධානියා පවසා ඇත. මෙම ප්‍රකාශය මින් ඉහත පළවූ ප්‍රහාරයේ බලපෑම අවතක්සේරු කරන ලද කාන්දු වූ බුද්ධි වාර්තාවට වෙනස් වේ.මෙම ප්‍රහාර අසාර්ථක බවට ඊයේ පළවූ වාර්තා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කෝපයට පත් කර තිබුණි.
ඇමරිකානු ඔත්තු සේවා ආයතනයේ අධ්‍යක්ෂ ජොන් රැට්ක්ලිෆ්, ප්‍රධාන ස්ථාන විනාශ කර ඇති බව පවසා ඇති නමුත් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම තුරන් කර ඇති බව ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
මෙය ඇමරිකා එක්සත් ජනපද බෝම්බ ප්‍රහාර වලින් පසුවත් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ මූලික සංරචක නොනැසී පවතින බව පෙන්ටගනයේ බුද්ධි ආයතනයකින් කාන්දු වූ මූලික ඇගයීමක් පෙන්වා දුන් දිනයකට පසුව මෙම හෙළිදරව්ව සිදු විය.
ට්‍රම්ප් ජනාධිපතිවරයා බදාදා සමාජ මාධ්‍ය වෙත යොමු වී "ව්‍යාජ පුවත්" මාධ්‍ය "බොරු කියා කරුණු සම්පූර්ණයෙන්ම වැරදි ලෙස ඉදිරිපත් කර ඇති" බව පළ කළේය.බදාදා නේටෝ සමුළුවට සහභාගී වීම සඳහා හේග් නුවරට පැමිණි ට්‍රම්ප්, ප්‍රහාර ගැන කතා කරමින්: "එය ඉතා දැඩි විය. එය සම්පූර්ණ විනාශයක් විය." යැයි පැවසීය.
ඔහු තවදුරටත් කියා සිටියේ ලබන සතියේ සාකච්ඡාවලදී ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් අවසන් කිරීමට ඔහු බොහෝ විට උත්සාහ කරනු ඇති බවයි. ඉරානය එවැනි සාකච්ඡා කිසිවක් තවම පිළිගෙන නොමැත.
නමුත් ඇමරිකානු මැද පෙරදිග විශේෂ දූත ස්ටීව් විට්කොෆ්, ඇමරිකානු NBC ජාලය වෙත පවසා ඇත්තේ රටවල් අතර සෘජු සහ වක්‍ර සන්නිවේදනයක් පැවති බවයි.
ට්‍රම්ප් විසින් පත් කරන ලද රැට්ක්ලිෆ්ගේ ප්‍රකාශය අනුව, CIA හි තොරතුරු වලට "ඓතිහාසික වශයෙන් විශ්වාසදායක හා නිවැරදි මූලාශ්‍රයකින්/ක්‍රමයකින් ලබාගත් නව බුද්ධි තොරතුරු ඇතුළත් වන අතර එහිදී සැලකිය යුතු ඉරාන න්‍යෂ්ටික පහසුකම් කිහිපයක් විනාශ කර ඇති අතර, එම පසුබෑම වසර ගණනාවක කාලයක් තුළ නැවත ගොඩනගා ගත යුතු" බව පවසයි.
ජාතික බුද්ධි අධ්‍යක්ෂ ටල්සි ගබාර්ඩ් ද ඉරාන න්‍යෂ්ටික පහසුකම් වලට සිදු වූ හානිය පිළිබඳ ට්‍රම්ප්ගේ ඇගයීමට සහාය දී තිබේ.
ඇමරිකානු මෙහෙයුමට සෙනසුරාදා ප්‍රධාන ඉරාන න්‍යෂ්ටික පහසුකම් තුනක් ඉලක්ක කරගත් හමුදා ගුවන් යානා 125ක් සම්බන්ධ විය.
නව චන්ද්‍රිකා රූප වලින් ෆෝර්ඩෝ හි ප්‍රවේශ ස්ථාන දෙකක් වටා සමූහගත වූ කුහර හයක් පෙන්නුම් කරන අතර, එස්ෆහාන් හි ද එවැනි කුහර දක්නට ලැබිණි. නමුත් පොළොව යට ගැඹුරින් පිහිටි න්‍යෂ්ටික පහසුකම් තුරන් කර ඇත්ද යන්න පැහැදිලි නැත.
කෙසේ වෙතත්, ඉරාන පාර්ලිමේන්තුවේ සභාපතිවරයාගේ උපදේශක මෙහ්දි මොහම්මදි, ඇමරිකානු ප්‍රහාරවලින් පසු පවසා ඇත්තේ ෆෝර්ඩෝ හි "විශාල හානියක් සිදු වී නොමැති" බවයි.



