the-operation-that-caught-those-who-sold-the-names-of-criminals-to-obtain-ransom

හීනටියන මහේෂ් සහ හීනටියන සංඛ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ගොන්නට අයත් වන්නෝ වෙති. ඒ අතරින් හීනටියන මහේෂ් නමැත්තා දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තුද නිකුත් කර ඇත.

මොවුන් දෙදෙනාම ඩුබායි රාජ්‍යයේ සැඟව මෙරට අපරාධ මෙහෙය වන බව පොලිසිය කියයි. මීගමුව, සීදුව, මිනුවන්ගොඩ, ගම්පහ ආදී ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සංවිධානාත්මක අපරාධවල මෙන්ම කප්පම් ගැනීම්වල නිරත වන මොවුන්ගේ නම් ඇසූ පමණින් එම ප්‍රදේශවල බොහෝ පිරිස් බියට පත්වෙති. ඒ ඔවුන්ගේ පාතාල ක්‍රියාකාරකම් නිසා බව කියයි.


ඉකුත් දිනක බඩල්ගම ප්‍රදේශයේ මහ පරිමාණ කුකුළු ගොවිපොළක හිමිකරු හමුවීමට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකි. ඔවුන් කළු පැහැති ජැකට් සහ හිස්වැසුම් පැලඳ සිටි අතර යතුරුපැදියේ නැඟී පැමිණි ඔවුන් බඩල්ගම පිහිටි කුකුළු ගොවිපොළ හිමිකරුගේ කාර්යාලයට කිසිදු බියක් සැකක් නැතිව ඇතුළු විණි. මෙම ව්‍යාපාරිකයා දිනකට කුකුළු මස් හා බිත්තර මහ පරිමාණයෙන් අලෙවි කරන්නකු වන අතර ඒ නිසා ඔහු අතමිට සරු අයකු බවද ඒ අවට පිරිස් හොඳාකාරව දැන සිටියහ.


කුකුළු ෆාම් හිමිකරුගේ කාර්යාලයට ඇතුළු වූ ඔවුන් කෙළින්ම හිමිකරු හමුවී පැවැසුවේ මෙවැන්නකි. එක් අයකුගේ අතේ පිතෝල අවියකි.


'අපි හීනටියන මහේෂ්ගෙයි හීනටියන සංගෙයි ගෝලයෝ. ඒගොල්ලෝ තමයි අපිව එව්වේ. එයාලගේ වැඩකට සල්ලි වගයක් ඕනෑ වෙලා තියෙනවා.”

"කීයක්ද?"

 බියට පත් ව්‍යාපාරිකයා ඔවුන්ගෙන් විමසන්නට විය. "රුපියල් කෝටියක්"

"එච්චර සල්ලියක් මගේ ළඟ නැහැ."

"එහෙම කියලා හර්යන්නේ නැහැ. සල්ලි දුන්නේ නැත්නම් කරදර වෙයි."

"සල්ලි නැහැ මගේ ළඟ"



"අපි දන්නේ නැහැ. දුන්නේ නැත්නම් තමුසෙව හරි තමුසෙගේ දරුවා හරි මැරුම් කයි. එච්චරයි අපි දන්නේ."

"මෙතන කතා කරන්න බැහැ." "ඒක අපිට වැඩක් නැහැ. මෙන්න අපේ එකවුන්ට් එකේ නොම්බරේ. ඒකට සල්ලි දාන එකයි ඇත්තේ." එසේ කී ඔවුහු පිස්තෝල අවියද ව්‍යාපාරියාට එල්ල කර නික්ම ගියහ. කෙසේ වෙතත් හීනටියන මහේෂ් සහ හීනටියන සංඛ ගැන අසා තිබූ කුකුළු මස් ව්‍යාපාරය හිමිකරු තමාගේ හෝ දරුවාගේ ජීවිතවලට හානියක් කරතැයි සැකකොට ඊට පසුවදාම රුපියල් ලක්ෂ 20ක මුදලක් ඔවුන් ලබාදුන් ගිණුම් අංකයට බැර කළේය. එහෙත් එතැන් පටන් ඔහුට මේ පැමිණි දෙදෙනාගෙන් විසුමක් නොවීය. "අපි ඉල්ලුවේ කෝටියක්. දාලා තියෙන්නේ ලක්ෂ 20යි. අපිට ඉතුරු සල්ලි අද හෙටම ඕනෑ. නැත්නම් තමුසෙවත් මරනවා. දරුවාවත් මරනවා."


කප්පම්කරුවන්ගෙන් දිගින් දිගටම මරණ තර්ජන එල්ල විය. ඉතිරි රුපියල් ලක්ෂ 80 නොදුණහොත් ව්‍යාපාරිකයාගේ මෙන්ම ඔහුගේ දරුවාද මරා දමන බවට ඔවුහු නිතරම තර්ජනය කරන්නට වූහ. මින් කුකුළු මස් ගොවිපොළ හිමිකරු තව තවත් බියට පත්විය. අවසානයේ ඔහු තීරණයක් ගත්තේය. පසුදාම මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය ගිය ඔහු අශෝක ධර්මසේන හමුවී සිදුවීම එකක් නෑර කීවේය.


"කිසිදේකට බය වෙන්න එපා. අපි උන් කවුද කියලා හොයමු."


එසේ කී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර්වරයා මීගමුව කොට්ඨාස

අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති චන්දන රණසිංහව සිය කාර්යාලයට කැඳවා සිද්ධිය ගැන කරුණු අවබෝධ කරදී අදාළ

කප්පම්කරුවන් වහා කොටු කර ගන්නා ලෙස දන්වා සිටියේය. ඒ අනුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශනයක් ඇරඹීය. ස්ථානාධිපතිවරයා මුලින්ම ව්‍යාපාරිකයාගෙන් පැමිණිල්ලක් සටහන් කර ගෙන ඔහුට තර්ජනාත්මක දුරකථන ඇමැතුම් ලබාදුන් දුරකථන අංකය මෙන්ම ලබාදුන් ගිණුම් අංකයද සටහන් කරගත්තේය. විමර්ශන පැවැත්වූයේ ඒ ඔස්සේය. ඒ ඉකුත් 9 වැනිදාය. ඉන් අනතුරුව කුකුළු මස් ව්‍යාපාරිකයාට දුරකථන ඇමැතුම් ලබාදුන් අංකයේ මේ විශ්ලේෂණ වාර්තාද ලබා ගැනුණු අතර දුරකථනය සම්බන්ධ වූ දුරකථන කුලුනු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරිණි. ඒ සඳහා මීගමුව කොට්ඨාස බුද්ධි ඒකකයේ සහාය ලැබුණේය.


එම විමර්ශනයෙන් පසු කප්පම්කරුවන් ලබාදුන් ගිණුම්

අංකය සහ දුරකථන අංකයට අනුව එක් පුද්ගලයකු නාරම්මල පදිංචිකරුවකු යැයි අනාවරණය කරගත්තේය. නිලධාර්න් නාරම්මල බලා ගියද සැකකරු එහි නොවීය. පසුව තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ ගිය නිලධාරීන්ට එක් සැකකරුවකු සීදුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි විය. නිලධාර්න් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය. එහිදී අනාවරණය වූයේ මොවුන් හීනටියන මහේෂ්ගේ හෝ හීනටියන සංඛගේ ගෝලයන් නොවන බවත් ඔවුන්ගේ නම් විකුණමින් කුකුළු මස් ගොවිපොළ හිමිකරුගෙන් රුපියල් කෝටියක මුදලක් කප්පම් ලෙස ඉල්ලා ඇති බවය.


"එතකොට උඹලා ගත්ත ලක්ෂ 20 කෝඉ" ස්ථානාධිපතිවරයා සැකකරුගෙන් විමසුවේය. ඒක අපි දෙන්නා ලක්ෂ 10 ලක්ෂ 10 බෙදා ගත්තා. බයික් එක පැද්දෙ එයා යාළුවෙක්ගෙන් තමයි බයික් එක ඉල්ලගත්තේ. ලක්ෂ 20 අරගෙන ඉවර වෙලා බයික් එක යාළුවාට ගිහින් දුන්නා.

"කොහේද ඌ ඉන්නේ" "මිනුවන්ගොඩ...."

නිලධාර්න් මිනුවන්ගොඩ ප්‍රදේශයට ගොස් කප්පම් ගැනීම සඳහා සැකකරුවන් ගිය යතුරුපැදියද සිය භාරයට ගත්තේය.

"උඹ ගත්ත ලක්ෂ 10ට මොකද වුණේ."

නිලධාර්න් නැවතත් ඔහුගෙන් ප්‍රශ්න කරන්නට විය.

ඒ ඔහු ලබාගත් රුපියල් ලක්ෂ 10 සොයා ගැනීමේ අරමුණෙන්ය.

"ඒකෙන් ලක්ෂ පහක් විතර දීලා අලුත්ම CC100 බයික් එකක් ගත්තා. අනෙක් සල්ලි වියදම් වුණා." සැකකරු ප්‍රකාශ කරන්නට විය. පසුව නිලධාර්න් ඔහුගෙන් තවත් දීර්ඝ ලෙස ප්‍රශ්න කොට කප්පම් ගැනීමට උපයෝගී කරගත් පිස්තෝල අවිය ගැනද විමසුවේය. එහිදී හෙළි වන්නේ එම අවිය සෙල්ලම් පිස්තෝලයක් බවය.

"අපි ඒක රුපියල් 4,500ක් දීලා මහරගමින් ගත්ත එකක් සර්. අපි දෙන්නම ගිහින් තමයි ඒක ගත්තේ.” නිලධාර්න් ඔහුගෙන් ප්‍රශ්නකොට එම අවියද සොයා ගත්තේය. පසුව අනෙක් සැකකරු ගැනද තොරතුරු විමසමින් ප්‍රශ්න කිරීමෙන් පසු පොලිසියට භාරවූ ඔහු පසුව අත්අඩංගුවට ගැනිණි.


"කෝ උඹ ගත්ත ලක්ෂ 10" ස්ථානාධිපතිවරයා දෙවැනි සැකකරුගෙන් විමසුවේය.

"සර් මගේ ත්‍රීවීලර් එක මාස හතරක් පහක් ෆිනෑන්ස් ඇරියස්. ඒ සලිල්වලින් ඒක බේර ගත්තා සර්...." නිලධාහු එම ත්‍රීවීලරය මෙන්ම පළමු සැකකරු මිලදී ගත් CC100 නවීන යතුරුපැදියද නඩු භාණ්ඩ ලෙස පොලිසිය භාරයට ගත්හ. ඔහුගෙන්ද දීර්ඝ ලෙස කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වන්නේ සංවිධානාත්මක අපරාධකරුවන් වූ හීනටියන මහේෂ් සහ හීනටියන සංඛගේ නම් විකුණා මෙම පුද්ගලයන් දෙදෙනා කුකුළු මස් ව්‍යාපාරිකයාගෙන් මෙලෙස කප්පම් මුදල් ලබාගෙන ඇති බවය. කෙසේ වෙතත් එම ව්‍යාපාරිකයා ජීවිත බියට රුපියල් ලක්ෂ 20ක් ලබාදී ඇතත් ඉතිරි රුපියල් ලක්ෂ 80 මොවුන්ට ලබා නොදී ඒ බව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කළ පැමිණිල්ල නිසා විමර්ශන නිලධාරීන්ට මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි විණි. මොවුන් හීනටියන මහේෂ්ගේ හෝ හීනට්යන සංඛ යන දෙදෙනා සමඟ කිසිදු සබඳකමක් නැති බවත් ඔවුන් නොහඳුනන පුද්ගලයන් බවත් ඔවුන්ගේ නම් විකුණා මෙලෙස කෝටියක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ දරා ඇති බවත් විමර්ශනයේදී හෙළි වී ඇත.


මොවුන් මෙලෙස තවත් කප්පම් ලබාගැනීම් කර ඇත්දැයි දැන ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය. සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා බඩල්ගම පොලිසියට භාරදී ඇත. සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (18දා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
(කීර්ති මෙන්ඩිස්)