the-kalubowila-house-was-shot-because-the-drug-money-was-not-paid-on-time

පසුගියදා වාර්තාවූ කළුබෝවිල පන්සල පාරේ ව්‍යාපාරිකයකුගේ නිවසට සිදු කරන ලද වෙඩි ප්‍රහාරයක් සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හඳුනාගත් මෝදර නිපුණ නම් පුද්ගලයාගේ සමීප ඥාතීන් දෙදෙනකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය නිවේදනය කර සිටියි.



පොලිස් විමර්ශන වලට අනුව, මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමක මුදල් ගනුදෙනුවක් සම්බන්ධ ගැටලුවක් මත බව අනාවරණය වී තිබේ.

වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු දින, එනම් 16 වැනි දින, වෙඩික්කරු ඩුබායි රාජ්‍යයට පලා ගොස් ඇති බවත් පොලිස් විමර්ශන මගින් තහවුරු වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර වෙඩික්කරුගේ බිරිඳ සහ බිරිඳගේ මව ද ඇතුළත් වන අතර, ඔවුන්ගෙන් භාවිතා කරන ලද ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත. 

විමර්ශන වලදී අනාවරණය වී ඇති කරුණු අනුව, මෝදර නිපුණ නැමැත්තාගෙන් ලබාගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයකට ව්‍යාපාරිකයාගේ වැඩිමහල් පුතු මුදල් ගෙවීම පැහැර හැරීම මෙම ප්‍රහාරයට හේතුව බව සඳහන් වේ. එම ව්‍යාපාරිකයාගේ පුත්‍රයා ද දැනට විදේශගත වී සිටින බව පොලිසිය පවසයි.

ප්‍රහාරයට පෙර දිනයක, වෙඩික්කරු සහ තවත් පුද්ගලයකු ත්‍රිරෝද රථයකින් ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ ඔහුගේ බිරිඳට "පුතාට කියපන් උගේ ෆෝන් එක උස්සන්න කියලා" යනුවෙන් තර්ජනය කර පිටව ගොස් ඇත. ඉන් පසු දින, එනම් 15 වැනි දින, වෙඩික්කරු සහ තවත් පුද්ගලයකු යතුරුපැදියකින් පැමිණ වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

ප්‍රහාරය එම නිවසේ ගේට්ටුවට එල්ල වී ඇති අතර, කිසිවකුටත් තුවාල සිදු වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය නවගමුව ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරකු ත්‍රිරෝද රථයක් සමඟ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ලබාගත් තොරතුරු මත පදනම්ව, මෝදර නිපුණ නමැත්තාගේ පුංචි අම්මා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත.



පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විශේෂ විමර්ශනයක් දිගටම පවත්වාගෙන යනු ලබයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ ප්‍රචණ්ඩත්වය මෑත කාලයේ වැඩිවෙමින් පවතින අතර, මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බව ද වාර්තා වේ.