300-al-toppers-in-the-northern-province-to-receive-incentive-grants-of-rs-100000-each

ජනාධිපති අරමුදල මගින් උතුරු පළාතේ 2023 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී සියලුම විෂය ධාරාවන් යටතේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසුන් 300 දෙනෙකු වෙත රුපියල් ලක්ෂයක දිරි දීමනාවක් පිරිනමන ලදි. මෙම ඇගයීමේ වැඩසටහන ඊයේ (22) පෙරවරුවේ ඉරණමඩු නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 



පසුගිය 2023/2024 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක්වූ විශිෂ්ඨයන් ඇගයීමේ වැඩසටහන ජනාධිපති අරමුදල විසින් ආරම්භ කර ඇති අතර, ඒ යටතේ උතුරු පළාතේ යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල සිසුන් ඇගයීම සිදු කෙරිණි.

එම දිස්ත්‍රික්ක පහේම 2023 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී, එක් එක් විෂය ධාරාවලින් ඉහළ ප්‍රතිඵල ලබාගත් සිසුන් 10 දෙනෙකු බැගින්, දිස්ත්‍රික්කයකින් සිසුන් 60 දෙනෙකු ලෙස මුළු දිස්ත්‍රික්ක පහෙන්ම සිසුන් 300 දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් පිරිනැමීම සිදු කෙරිණි.

මෙම වැඩසටහන සඳහා ජනාධිපති අරමුදල රුපියල් මිලියන 30ක මුදලක් වැය කර ඇත.

අනාගතයේදී මෙම ඇගයීමේ වැඩසටහන දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද වාර්තා වේ.

උත්සව සභාව ඇමතූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසූවේ නව රජය බලයට පැමිණීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල විධිමත් කරමින් එහි සේවා පුළුල් කිරීමටත්, විනිවිදභාවය ඇති කිරීමටත් කටයුතු කර ඇති බවයි. 

අතීත භාවිතයන් තුළ තිබූ වැරදි නිවැරදි කරමින් අද සැබෑ ලෙසම එහි ප්‍රතිලාභ ලැබිය යුතු පිරිස් වෙත ලබා දීමට කටයුතු කර ඇති බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා, ජනාධිපති අරමුදලේ සේවා වඩා කාර්යක්ෂම කිරීම සඳහා එය ඩිජිටල්කරණය කිරීමටත් මෙන්ම ප්‍රාදේශීය වශයෙන් විමධ්‍යගත කිරීමටත් මේ වන විට කටයුතු කර ඇති බව සඳහන් කළේය.

දරුවන්ට ජීවිතය ජය ගැනීමට තිබෙන ප්‍රධානතම මෙවලම අධ්‍යාපනය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, දරුවන් වෙත හිමි වන මෙම ප්‍රතිලාභය නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන අධ්‍යාපනයේ විශිෂ්ඨයන් ලෙස මෙන්ම යහපත් පුරවැසියන් ලෙස ජීවිතය ජය ගෙන, රටත්, ජාතියත් ජයග්‍රහණය කරවීමට දරුවන් කටයුතු කළ යුතු බව වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම උත්සව අවස්ථාව කතානායක ජගත් වික්‍රමරත්න මහතා සහ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ද ආමන්ත්‍රණය කළහ.



යාපනය හින්දු විද්‍යාලයේ අභිෂේක් සිසුවා විසින් සිදු කළ ස්තූති කතාවේදී සඳහන් කළේ, මෙම වැඩපිළිවෙළ ආර්ථික අපහසුතා ඇති සිසුන්ට උසස් අධ්‍යාපනය සාර්ථක කර ගනිමින් ජීවිතය ජය ගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක් බවත්, ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාටත්, ජනාධිපති අරමුදලටත් බෙහෙවින් ස්තූතිවන්ත වන බවත්ය.

මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන් මහතා, සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. ඉලංකුමරන්, රජීවන් ජෙයචන්ද්‍රමූර්ති, එම්. ජගදීස්වරන් යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ ප්‍රධානින්, දෙමාපියන්, සිසු දරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන මෙම සුවිශේෂී වැඩසටහන තුළින් අධ්‍යාපනික විශිෂ්ඨතා දක්වන සිසුන්ට දිරිගැන්වීමක් ලැබෙන අතර, ඔවුන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු සඳහා මෙම ආධාර ප්‍රයෝජනවත් වනු ඇත. විශේෂයෙන්ම උතුරු පළාතේ ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපනයේ නියැලෙන දරුවන්ට මෙම දිරි දීමනාව මහත් පිටුවහලක් වනු ඇත.

gossiplanka image 2
gossiplanka image 3


gossiplanka image 4
gossiplanka image 5
gossiplanka image 6
gossiplanka image 7
gossiplanka image 8
gossiplanka image 9
gossiplanka image 10
gossiplanka image 11
gossiplanka image 12
gossiplanka image 13
gossiplanka image 14
gossiplanka image 15
gossiplanka image 16
gossiplanka image 17
gossiplanka image 18
gossiplanka image 19