මේ සිද්ධියේ බරපතළ ස්වභාවය සලකා අගවිනිසුරුවරිය විසින් ඒ පිළිබඳ විභාග කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කර ඇතැයි ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙණෙවිය පැවසුවාය.
මෙම ඖෂධය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් ජර්මන් රසායනාගාරයක් වෙත යවා සිදු කළ පරීක්ෂා කිරීමේදී දින තුනක් තුළ මනුෂ්‍ය ශරීරයට අහිතකර බරපතළ බැක්ටීරියා වර්ධනය වන බව අනාවරණය වී ඇති බවත් ඉමියුනොග්ලොබියුලින් ඖෂධයේ ලුණු පමණක් සහ රිටොක්සිමැප් ඖෂධයේ බැක්ටීරියා පමණක් අන්තර්ගතව ඇති ප්‍රශ්නගත ඖෂධ සඳහා ජනරජ මුදල් ලක්ෂ 1444ක් ගෙවා අවසන්ව ඇතැයිද ගිරිහාගම මෙණෙවිය අධිකරණය හමුවේ අවධාරණය කළාය.
අවසන් විමර්ශන වාර්තාව ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු දැක්වූ ලක්මිණි ගිරිහාගම මෙණවිය මෙසේ කීවාය.
ස්වාමිනී, අදට මේ විමර්ශනයට අවුරුද්දයි මාස අටක් සහ දින හයක් ගතවෙලා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවසන් කරනු ලැබූ විමර්ශනයට අදාළව අධිකරණ මඟපෙන්වීම් සහ නීතියේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙන්ම අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 124 වගන්තිය ප්‍රකාරව සිදු කළ විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කිරීම මෙන්ම අධිකරණ මග පෙන්වීම් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක් සිදු කළ විමර්ශනවලට අදාළ අවසන් වාර්තාව අධීකරණයට ඉදිරිපත් කිරීමට අවසර පතනවා.
ස්වාමීනි එම අවසන් වාර්තාවට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩුවට අදාළ උදෘත පසුගිය පෙබරවාරි මස 6 වැනිදා අධි චෝදනා පත්‍ර සලකා බැලීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබුවා. ඒ අනුව නීතිපතිවරයා විසින් උදෘත සලකා බලා විමර්ශන සම්පූර්ණ කිරීමට ලබා දුන් උපදෙස් ප්‍රකාරව විමර්ශන අවසන් කොට ප්‍රගතිය සහ අවසන් වාර්තා අද දින අධිකරණයට ඉදිරිපත් කරනු ලබනවා.
මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීමට පළමුවන සැකකරුවන සුදත් ජානක ප්‍රනාන්දු යන අයගෙන් මිල දී ගන්නා ලද ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රිටොක්සිමැප් ඖෂධය අඩංගු ද්‍රාවණය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ විශේෂඥ වෛද්‍ය රජින්ද්‍ර සිල්වා මහතාගේ සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා. එහිදී එම ද්‍රාවණය කුමක්ද යන්න නිශ්චිතව පරීක්ෂා කිරීමට නොහැකි වී තිබෙනවා. ඒ අනුව එම පරීක්ෂාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජර්මනියේ ඇති විද්‍යාගාරයකට සුගිය වසරේ මැයි මස 6 දා සාම්පල් යවා පරීක්ෂා කර එහි වාර්තා කැඳවනු ලැබුවා. ඒ වාර්තා අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කරනවා.
ස්වාමීනී, එම වාර්තාවට අනුව මේ ඖෂධවල කිසිදු ඖෂධීය ගුණයකින් යුත් සංඝටක හඳුනාගැනීමට නොහැකි වූ බව වාර්තා වෙනවා.
සාමාන්‍ය තත්ත්වයන් යටතේ පරීක්ෂා කිරීමේදී බැක්ටීරියා වර්ධනය වන ආකාරය පරීක්ෂා කර බලන විට දින තුනක් තුළ බරපතළ ගණයේ බැක්ටීරියා 2.641ක බැක්ටීරියා වර්ධනයක් පෙන්නුම් කරන බව දක්නට ලැබෙන බව එම ජර්මානු පරීක්ෂණාගාර වාර්තා දක්වා තිබෙනවා. ඒ හේතුවෙන් එම ද්රාවණයද ශරීරයට විෂ වන බවත් එය මනුෂ්‍ය ශරීරයට වඩාත් අහිතකර තත්ත්වයක් නිර්මාණය කිරීමට මෙන්ම මරණයට පත් වීමට වුව හැකි බවත් එහි දක්වා තිබෙනවා.
එමෙන්ම පිළිකා නාශක ලෙස ගෙන්වා තිබෙන රිටොක්සිමැප් ද්‍රාවණය ප්‍රෝටීන් (පිළිකාව සමඟ සටන් කළ හැකි) සහිත බවට සඳහන් වුවද එකී ප්‍රශ්නගත ද්රවාණයේ එවැනි සංඝටක කිසිවක් නොමැති බවටත් එකී ද්‍රවණයේ ඇත්තේ ලුණු පමණක් යැයිද එම වාර්තාවේ සඳහන්.
ලුණු වතුර සහ බැක්ටීරියා ඇතුළත් වතුර සඳහා රුපියල් ලක්ෂ 144ක් වැය කර තිබෙනවා. 2 සිට 12 දක්වා සැකකරුවන් පළමු සැකකරු විසින් සිදු කළ එකී ක්‍රියාවලිය ක්‍රියාවෙන් සහ මනසින් එකතු වී වරද සිදු කරමින් කුමන්ත්‍රණය සහ අනුබල දීම සිදු කර ඇති බවට අවසන් වාර්තාවේ සඳහන්.
මහේස්ත්‍රාත්වරිය,
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ යම්කිසි ආනයනයන් සිදු කර තිබෙනවා
ලක්මිණි ගිරිහාගම මෙෙණවිය,
ස්වාමීනි ඒ තමයි මගේ ඊළඟ හඳුන්වාදෙන කාරණය වන්නේ. මම දැන් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන්නේ අධිකරණ හෘද සාක්ෂිය කලඹනු ලබන දෙයක්. එය ඉදිරිපත් කිරීමට ගෞරවයෙන් අවසර අයැද සිටිනවා. මෙම සැකකරු විසින් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ තමන්ගේ ලංසු ඉදිරිපත් කරන අවස්ථාවේ ඔහු දක්වා තිබුණා ඉන්දියාවෙන් අදාළ ද්‍රව්‍ය මෙරටට ආනයනය කරලා නිෂ්පාදනයක් සම්බන්ධයෙන් ඔහු කරුණු දක්වා තිබුණා. මෙම ලංසුව විශ්ලේෂණය කළ විට තුන් වන 10 වන සහ 11 වන සැකකරුවන් විශේෂඥවරුන් ලෙස මෙම තක්සේරු කමිටුවේ වාඩි වුණා. අදාළ ලංසුවේ පැහැදිලිව සැකකරු දක්වා තිබුණා. ඉමියුනොග්ලොබියුලින් ඖෂධය සම්බන්ධයෙන්. ඔහු සපයන්නේ පවුඩර් ලෙස දක්වා තිබුණා. එහෙත් ඖෂධය භාර ගත් පසු සැකකරු විසින් භාර ගෙන තිබෙන්නේ ද්‍රාවණයක්. රිටොක්සිමැප් කියන ඖෂධයේ අදාළ ලංසුවේ මෙරටට ආනායනය කිරීමේදී රේගු වර්ගීකරණ අංකයක් සඳහන් කර තිබුණා. (එච් එස් කෝඩ්) එහි පෙන්වනවා අදාළ ද්‍රව්‍ය ආනයනය කරන පුද්ගලයා ආනයනය කරන ද්‍රව්‍ය සම්බන්ධයෙන්. ඊට අනුව පළමුවන සැකකරු විසින් අදාළ රේගු වර්ගීකරණ අංකය පැහැදිලිව ලංසුවේ දක්වා තිබෙන්නේ (3006.60.00) ලෙසින්. මේ වර්ගීකරණය කුමක්ද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා රේගුවේ රේගු අධිකාරි මේ අංශය භාරව කටයුතු කරන නිලධාරියා වන ලක්ෂිත ලොකු ගලප්පත්ති යන අයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. එම ප්‍රකාශයෙන් අනාවරණය කර ගන්නා ලද්දේ ඉහත වර්ගීකරණ අංකය මඟින් මෙරටට ආනායනය කළ හැක්කේ හෝමෝන හෝ ශුක්‍ර නාශක අංශු හෝ රසායනික උපත් පාලන නිෂ්පාදනයන් පමණයි. මේ කෝඩ් එක යටතේ තමයි රිටොක්සිමැප් කියන ද්‍රව්‍ය මෙරටට ආනයනය කරන්නේ කියා පළමුවන සැකකරු සඳහන් කරනවා. මේ විශේෂඥ වෛද්‍යවරු ඉවැලිවේෂන් කමිටුවට වාඩි වනවිට දැනන් හිටියේ නෑ මේ යටතේ ආනයනය කරන්න පුළුවන් උපත් පාලන ද්‍රව්‍ය පමණක් බවට. මේවා සාමාන්‍යයෙන් පුද්ගයෙකුට මග හැරෙන දේවල් නෙවෙයි. මේවා හිතා මතා මග හැරලා අදාළ පුද්ගලයාට තමන්ගේ ඉලක්කයට ගමන් කිරීමට චේතනාන්විතව අනුබල දීමේ සාපරාධි ක්‍රියාවලිය දණ්ඩ නීති සංග්‍රහය හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා තමයි ඔවුන් අද මෙතන ඉන්නේ.
මීට අදාළව අධිකරණය විසින් ලබා දුන් නියෝග අනුව 8 වන සැකකරු ඉදිරිපත් කළ මෙම ප්‍රශ්න සහගත කැබිනට් සංදේශයට අනුමැතිය ලබා දීමේදී 8 වැනි සැකකරු විසින් ඉදිරිපත් කරන ලද කුමන කරුණු පදනම් කරගනිමින්ද කැබිනට් මණ්ඩල සාමාජිකයන් විසින් අනුමැතිය දී ඇත්තේද යන්න විමසා බැලුවා. එම ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාවට අනුව එවකට ක්‍රියාත්මක වූ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වූ 8 වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජූනි 11 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සටහන් කරගනු ලැබුවා. ඒ ප්‍රකාශයේ සම්පිණ්ඩනය අද දින අධිකරණයට ඉදිරිපත් කරනවා. එහි ඔහු පැහැදිලි කරුණු කිහිපයක් මේ නීති කෘත්‍යයට අනුව ලබා දී තිබෙනවා.
ස්වාමිණි,
අදාළ සැකකාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබන සංදේශය සඳහන් කරුණු මත පදනම්ව එදින කැබිනට් මණ්ඩලය විසින් එම කැබිනට් පත්‍රකාවට අනුමැතිය ලබා දී තිබුණා. 8 වන සැකකරු විසින් පැහැදිලිව මෙම කැබිනට් පත්‍රිකාවේ කරුණු මත පදනම්ව තමයි ඊට අනුමැතිය ලබා දුන් බව කියන කාරණය කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන හිටපු 8 වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පිළිගෙන තිබෙනවා. ඒ අනුව එම කැබිනට් පත්‍රිකාවේ තිබුණු සාපරාධී දෝෂ මොනවාද කියා කරන ලද විමර්ශනයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට අධිකරණයට කරුණූ වාර්තා කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය ප්‍රකාශයෙන් පැහැදිලිව කියනවා එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබූ කරුණු සම්බන්ධයෙන් එම කැබිනට් ප්‍රතිකාව ඉදිරිපත් කළ විෂය භාර අමාත්‍යවරයා විසින් වගකීමට බැඳී සිටින බව. ඒ අනුව පැහැදිලි ලෙසම අදාළ කැබිනට් පත්‍රිකාවේ අන්තර්ගතයට 8 වන සැකකරු වගකීමට බැඳෙන බව එවකට කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා විසින් පැහැදිලි ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙනවා.
ගරු මැතිනියනි,
ඔබතුමියට මතක ඇති 2022 සැප්තැම්බර් 26 කැබිනට් පත්‍රිකාවෙන් පසුව ඔක්තෝම්බර් මාසයේත් 8 වන සැකකර විසින් නැවත ඖෂධ 317ක් සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ෆේවරිට් ෆාමසියුටිකල්ස් කියන ආයතනයේ ඖෂධ ලබා ගැනීමට ඉල්ලීමක් කරනු ලැබුවා. එම ඖෂධ ඇතුළේ 2022 සැප්තැම්ර් 26 ප්‍රසම්පාදනයට ලක් කරන ලද ඖෂධ නැවත ඇතුළත් කරනු ලැබුවා කිසිදු සාධාරණ හේතුවක් නැතිව. මේ කාරණය සම්බන්ධයෙන් මුදල් ස්ථායීකරණ අමාත්‍යාංශයෙන් ඇමැතිවරයාගෙන් ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් නිර්දේශ කැබිනට් අමාත්‍ය මණ්ඩලය විසින් කැඳවා තිබුණා. ඒ නිර්දේශ ඔබතුමියගේ ගරු අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලැබුවා. එම නිර්දේශ 2022 නොවැම්බර් නිකුත් කර තිබුණු අතර එහි පැහැදිලිව බී කියන සංකේතය යටතේ කැබිනට් මණ්ඩල තීරණය පැහැදිලිව දක්වමින් කියා තිබෙන්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සිදු කරනු ලබන ප්රසම්පාදනකට අදාළව ප්‍රසම්පාදනය අනිවාර්යෙනන්ම ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සිදු විය යුතු බව. ඒ අනුව කැබිනට් මණ්ඩලය විසින් 2022 නොවැම්ර් 02 දින එවැනි තීරණය ගෙන තිබියදී තමයි මෙම නඩුවට අදාළ සියලු මුදල් පළමුවන සැකකරුට ශ්‍රී ලංකා ජන රජයේ මුදල්වලින් ගෙවීමක් කර තිබෙන්නේ. ඒ නිසා රටේ පැවැති නීතියට පටහැනිව මේ ගෙවීම් සිදු කර අනීතික ක්‍රියාවකට අනුමැතිය දීම සම්බන්ධයෙන් ඔබතුමියගේ අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාක්ෂි මඟින් ඉදිරිපත් කිරීමක් කර තිබෙනවා.
ගරු මැතිනියනි,
අවසාන වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරනු ලබන වැදගත් කරුණු දෙකකට ඔබතුමියගේ අවධානය යොමු කරනු ලබනවා. මේ නඩුවේ 1-12 දක්වා සැකකරුවන්ගේ දුරකතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක තාක්ෂණික ආධාර ඒකකයේ සහාය ඇතිව විශ්ලේෂණය කරා. ඍජු දුරකතන දත්ත පමණයි විශ්ලේෂණය කිරීමට හැකියාව ලැබුවේ. වට්ස්ඇප්, වයිබර්, ඉමෝ, මැසෙන්ජර් වැනි දුරකතන විශේලේෂණයට තාක්ෂණික පහුසක්ම ශ්‍රී ලංකාවේ නැහැ. ඍජු දුරකතන විශේලේෂණවලට අනුව එම දත්ත විශේලේෂණය කිරීමේදී ප්‍රසම්පාදන කිරීමේදී පළමුවැනි සැකකරු සමඟ 8 වන සැකරු වන අමාතයවරයා දුරකතන සංවාද 8ක් පවත්වා තිබෙනවා.
එමෙන්ම 10 වන සැකකරු වන අමාත්‍යාංශ ලේකම්වරයා 31ක් වතාවක් පළමුවැනි සැකකරු සමඟ දුරකතන සංවාද පවත්වා තිබෙනවා. 12 වන සැකකරු එක් වතාවක් පළමු වන සැකකරු සමඟ සංවාද සිදු කර තිබෙනවා. 8 සැකකරු මහජන නියෝජිතයෙක් ලෙස සම්බන්ධතා පැවැත්වූවාද යන්න අපි සොයා බැලුවා. ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සැපයුම්කරුවන් 25 දෙනෙක් සිට ඇති අතර, එම 25 දෙනාගේ දුරකතන දත්ත 8 වන සැකකරු සමඟ සම්බන්ධ වී ඇද්ද යන්න විමර්ශනය කරා. ඒ කිසිවෙක් සමඟ 8 වන සැකකරු කිසිදු සැපයුම්කරුවකු සමඟ සම්බන්ධ වී නැහැ. මෙම ප්‍රශ්නගත ප්‍රසම්පාදනයේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තමයි ප්‍රසම්පාදන කටයුතු සිදු කරේ.
ආදාළ ඖෂධ වෛද්‍ය සැපයුම් ඒකකයට භාර ගැනීමේ ක්‍රමවේදය පැහැදිලිව අනාවරණය වුණේ සැපයුම්කරුවන්ගන් ඖෂධ භාර ගැනීමේදී සුපරික්ෂාකාරී කිසිදු පියවරක් අනුගමනය කර නොමැති බවයි. වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ හෝ නියෝජ්‍ය අධ්‍යක්ෂ පහළ නිලධාරින්ට කිසිදු උපදේශයක් ලබා දී නැහැ. සැපයුම්කරුවන් විසින් ඉදිරිපත් කළ යුතු සහතිකය වත් පරීක්ෂා කර නැහැ. විශේෂඥ වෛද්‍යවරුන් 7 දෙනෙකුගෙන් යුක්ත කමිටුවක් මඟින් නිකුත් කළ වාර්තාවක්ද අධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලබනවා. එහි පැහැදිලිව දක්වා තිබෙනවා. එම සහතිකය පරීක්ෂා කරා නම් මෙම ඖෂධ්‍ය නිෂ්පාදනය කරන ක්‍රමවේදය හඳුනාගත හැකි වෙනවා. ඖෂධවේදියෙක්ට සහ ඖෂධවේදිනියකට මෙම කාරණය මග හරිය නොහැකි බව අධිකරණයට දක්වා තිබෙනවා. මෙම ඖෂධ විශ්ලේෂණය කළ දිනය ලෙස 2022 අප්‍රේල් 22 ලෙස දක්වා තිබෙනවා. එහෙත් ඖෂධය නිෂ්පාදනය කරන්නේ 2023 අප්‍රේල් පළමුවැනිදා . ඖෂධය නිෂ්පාදනය කරන්නත් පෙර 2022 එකී ඖෂධ විශ්ලේෂණය කර තිබෙනවා. 2023 අප්‍රේල් 1 නිෂ්පාදනය කරන ඖෂධය කොහාමද මැතිනියනි 2023 අප්‍රේල් 1 විශ්ලේෂණය කරන්නේ.
ඒ කියන්නේ නිෂ්පාදනය කරන්නට වසරකට පෙර ඖෂධ විශ්ලේෂණය වී ඇති බව අදාළ වාර්තාවේ සඳහන් වෙනවා. මෙන්න මේ කරුණු සියල්ල අවසාන වතාවට සිදු කරන ලද විමර්ශනයේදී පැහැදිලිව අනාවරණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වුණා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු දක්ෂ නිලධාරි විමර්ශන කණ්ඩායම විසින් සැලකර සිටින්නේ ඔබතුමිය දෙන ලද නියෝග ප්‍රකාරව අදාල විමර්ශනය සිදු කරමින් ඔබතුමිය ලබා දෙන ලද සහාය අනුව කටයුතු කරමින් අද දින 2022 ඔක්තෝම්බර් 10 දින ආරම්භ කළ මේ විමර්ශනය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 120-3 වගන්තිය යටතේ අවසන් කළ බව ගරු අධිකරණය හමුවේ දන්වා සිටිනවා.
මෙම සියළු කරුණුවලට සවන් දුන් මහේස්ත්‍රාත්වරිය පළමුවන සැකකරු වන සුදත් ජානක ප්‍රනාන්දු යන අය තවදුරටත් ලබන 16 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය, සිවිල් සංවිධාන සහ පුද්ගලයන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිලිවලට අනුව සිදු කළ විමර්ශනයකට අදාළව විමර්ශන සිදු කර ඇත.
නඩුව කැඳවන අවස්ථාවේදී සැකරුවන් වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් සීමා හේවගේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, අත්තනායක මුදියන්සේලාගේ සමන් කුසුම්සිරි රත්නායක, හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, බුත්පිටිය ලේකම්ලාගේ දොන් ජයනාත්, යූ.එස්.කේ. දෙනාවත්ත, ඩී.එච්.ආර්.එන්. ප්‍රේමතුංග, ටී.ඩී. සොලමන්, මරක්කල මානගේ නිරාන් ධනංජය, එම්. සුජිත් වසන්ත කුමාර යන ඇතුළු සැකකරුවන් 12කට එරෙහිව නඩුව කැඳවනු ලැබූ අතර, ඉන් සැකකරුවන් 9 දෙනෙක් අධිකරණය හමුවේ පෙනී සිටි අතර හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනත් නඩුවක් සඳහා ඇප තැන්පත් කිරීමට බන්ධනාගාරය භාරයේ සිටින බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටි අතර, අනෙක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණය හමුවේ පෙනී සිටියේය.
පළමු සැකකරු සුදත් ජානක ප්‍රනාන්දු වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ මහේස්ත්‍රාත්වරිය විසින් නිරීක්ෂණය කරනු ලැබුවාය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥවරුන්වන අසේල විජේසිංහ, ගංගානි උක්වත්ත, අරුණි හේරත්, නටාෂා ද අල්විස් යන මහත්ම මහත්මීන් සමඟ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙෙණවිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ එකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. ජයන්ත, උප පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු, පොලිස් සැරයන් (35124) ප්‍රනාන්දු, (61843) මහේෂ් යන නිලධාරින් එක්ව සිටියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval