haunted-mansions-and-headscarves-during-poson-season

මෙවර පැවැත්වෙන පොසොන් මහා පින්කම් අතරතුර බුදු දහමට නොගැලපෙන හොල්මන් මන්දිර, ඔළුබක්කන් නැටීම සහ සංගීත සංදර්ශන වැනි වැඩසටහන් කිසිසේත්ම අනුමත නොකරන බව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ආචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර සිටිති.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ජූනි 4 වැනි දින පැවති මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මෙම ප්‍රකාශය කරමින්, බුද්ධ වර්ෂ 2569ක් වන මෙම වසරේ පොසොන් උත්සවය ජූනි 10 වැනි දින පැවැත්වෙන බව සමස්ත ජනතාවට දැනුම් දුන්හ.



"පොසොන් මහා පින්කම් උත්සවය අපේ රටේ සමස්ත ජනතාවම මහත් භක්තියෙන් හා ආදරයෙන් සිහිපත් කරන දවසක්. දැනටමත් දිවයින පුරා විහාරස්ථාන සහ ස්වේච්ඡා සංවිධාන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටිනවා," යැයි නායක හිමියන් පැවසූහ.

"පොසොන් මහා පින්කම යනු අපේ රටේ වෙසක් උත්සවයට සමානව, ඊටත් වඩා වැදගත් වන උත්සවයක්. ශ්‍රී ලංකාවේ සම්මා සම්බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනය වූයේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේදීය.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස මහරජතුමාගේ සහයෝගයෙන් බරපතල දැක්මක් ඇතිව පියවර ගණනාවක් යටතේ ලංකාවේ බුදුදහම ව්‍යාප්ත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළා," යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැහැදිලි කළහ.

"ජාතික වශයෙන් වැදගත් වන මෙම පින්කම, ප්‍රතිපත්තියට මුල් තැන දී ක්‍රියාත්මක කළ යුතුයි. කෙසේ නමුත්, පොසොන් මහා පින්කමට නොගැලපෙන අසංවර වැඩසටහන් සංවිධානය කර ඇති බව දැනගන්නට ලැබී තිබෙනවා," යැයි සීලක්ඛන්ද නාහිමි අවධාරණය කළහ.

"විශේෂයෙන්ම හොල්මන් ගෙවල්, ඔළුබක්කන් නැටීම, සංගීත සංදර්ශන ආදිය බුදු දහමට හෝ බෞද්ධ දර්ශනයට අදාළ වන්නේ නැහැ. එවැනි වැඩසටහන් මිනිසුන් තුළ ත්‍රාසය, භීතිය සහ කුතුහලය ඇති කරනවා. මෙම වැඩසටහන් තුළ නොයෙක් විපරීත ක්‍රියාකාරකම් සිදු වෙනවා. මේවා බෞද්ධ දර්ශනයට, බුදු දහමට හෝ පොසොන් මහා පින්කමට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ," යනුවෙන් නායක හිමියන් තවදුරටත් පැවසූහ.

"මෙවැනි ස්ථානවලට ඇතුළු වීමට මුදල් අය කරන අතර, මිනිසුන් තුළ කුතුහලය, භීතිය සහ ත්‍රාසය ඇති කරමින් විවිධාකාර නාඩගම් රඟදක්වනවා. අඳුරු කරන අවස්ථාවල නොයෙක් අසභ්‍ය ක්‍රියාකාරකම් සිදු වෙනවා. මෙවැනි දේ කිසිවිටෙකත් මෙරට සදාචාරයට, විශේෂයෙන්ම පොසොන් වැනි උතුම් දිනයකදී ගැලපෙන්නේ නැහැ. හොල්මන් මන්දිර, ඔළුබක්කන් නැටීම හෝ සංගීත සංදර්ශන මෙම දිනයේදී කිසිසේත්ම අනුමත කළ නොහැකියි," යැයි උන්වහන්සේ අවධාරණය කළහ.

"ශාසනාරක්ෂක බල මණ්ඩලය ලෙස අප කරුණාවෙන් ඉල්ලා සිටින්නේ,

මෙම උතුම් දිනයේදී විශේෂයෙන්ම ප්‍රතිපත්තියට මුල් තැන දී දාන, ශීල, භාවනා වැඩසටහන් පින් සිතින් සිදු කරන ලෙසයි," යැයි සීලක්ඛන්ද නාහිමි තම අනුශාසනාව අවසන් කළහ.

මාධ්‍ය හමුවේදී අනුශාසනා කළ සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මුගුණුවෙල අනුරුද්ධ හිමියන්ද මෙම කරුණු වැඩිදුරටත් අවධාරණය කළහ.

"අද දිවයින පුරා වෙහෙර විහාර ඉදිවී බෞද්ධ ප්‍රබෝධයක් ඇති වී තිබෙනවා. මෙය අර්ථගැන්වීමට අපේ සමාජය ශක්තිමත් වී තිබෙනවා. කෙසේ වෙතත්, වර්තමානයේ බුදු දහමට විවිධ අභියෝග එල්ල වන යුගයක් බවටත් පත්වෙමින් තිබෙනවා," යැයි උන්වහන්සේ පැවසූහ.

"පොසොන් පොහොය මෙන්ම වෙසක් පොහොය ද බෞද්ධයන් වන අපටත්, සමස්ත ලෝකයටත් වැදගත් වන දිනයක්. මෙම දිනයන් ප්‍රතිපත්තිමය පූජාවලට මුල් තැන දෙමින්, බෞද්ධ ජනතාව විහාරස්ථාන සහ මහා සංඝරත්නය සමඟ දැඩි සම්බන්ධතාවකින් යුතුව සමරනු ලබනවා," යැයි ලේඛකාධිකාරි හිමියන් පෙන්වා දුන්හ.

"ඛේදනීය තත්ත්වයක් ඇති වෙමින් තිබෙනවා. දැන් අනවශ්‍ය සංස්කෘතිකාංග සහ ගැලපෙන්නේ නැති විවිධ දේවල් සමාජගත වී තිබෙනවා. හොල්මන් මන්දිර, ඔළුබක්කන් නැටීම සහ විනෝදය සඳහා එවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම පොසොන් උදාවටත්, වෙසක් උදාවටත් කරන මහත් නින්දාවක්. එය කිසිසේත්ම අනුමත කළ නොහැකියි," යැයි උන්වහන්සේ තරයේ ප්‍රකාශ කළහ.

"ලක්වැසි බෞද්ධ ජනතාවගෙන් මෙන්ම ත්‍රෛනිකායික ආර්ය මහා සංඝරත්නයෙන් අපි ඉල්ලීමක් කරනවා. බෞද්ධ ප්‍රතිපත්තිවලට අනුගතව, ඒවාට මුල්ගත වෙමින්,

බුදුදහමේ සුරක්ෂිතභාවයට හානියක් නොවන අන්දමින් උදාවන පොසොන් දිනය මෙන්ම අනෙකුත් පොහොය දින තුළත් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ගෞරවයෙන් හා කාරුණිකව ඉල්ලා සිටිනවා," යැයි අනුරුද්ධ හිමියන් සිය අනුශාසනාව අවසන් කළහ.

"බුදුදහම ශක්තිමත් කිරීමටත්, බෞද්ධයන් තුළ ආකර්ෂණය වැඩි කිරීම උදෙසාත් ග්‍රාමීය වශයෙන් වෙහෙර විහාර සහ මහා සංඝරත්නය මුල් කරගෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස" ලේඛකාධිකාරි හිමියන් ඉල්ලා සිටියහ.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසක කණුමුල්දෙනියේ චන්දවිමල හිමියන්ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වී සිටියහ.

බුද්ධ වර්ෂ 2569 වන මෙම වසරේ පොසොන් පින්කම ජූනි 10 වැනි දින පැවැත්වීමට නියමිත අතර, ශාසනාරක්ෂක මණ්ඩලය පොසොන් සමයේ පවත්වන සියලුම වැඩසටහන් බුදු දහමේ මූලික ඉගැන්වීම්වලට අනුකූලව පැවැත්විය යුතු බව අවධාරණය කර සිටිති.