the-actions-of-prison-guards-who-used-their-release-from-prison-as-a-source-of-income-are-revealed

 ඛන්ධනාගාරය අධිරාජ්‍යයක් කරගෙන ඇති සැකකාර ඛන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, බන්ධනාගාරය තුළ රජ්ජුරුවන් වී නඩු අසා හිමින්සැරේ සිරකරුවන් නිදහස් කිරීමේ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියට ඊයේ (11) දැනුම් දුන්නේය.බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ගැන පමණක් නොව බන්ධනාගාර 28ක අධිකාරිවරුන් පිළිබඳව ද විමර්ශනය කරන බවද දිලීප පීරිස් මහතා

වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිතා කරමින් අනුරාධපුරය බන්ධනාගාරයේ එක් සිරකරුවකු නොව සිරකරුවන් තිදෙනකු නිදහස් කර ඇති බව පෙරේදා අනාවරණය වූ බවද පැවසීය. සැකකරු අනිසි බලයක් හදාගෙන, වෙනම රාජ්‍යයක් ගොඩනගා, සර්ව බලධාරීන් වෙලා, අධිකරණවලින් දඬුවම් ලබාදෙන පුද්ගලයන්ට සමාව දීමේ ක්‍රියා පිළිවෙත තුළ පසුගිය පොහොය දිනයේදී මෙම අනීතික ක්‍රියාවලිය සිදු කර ඇති බවද, මෙය දැවැන්ත වංචනික ක්‍රියාවලියක් බැවින්, බූවල්ලෙක් වගේ පැතිරිලා තියෙන මේ ක්‍රියාවලිය නතර කිරීමට ප්‍රයත්න දරන මේ මොහොතේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.


වැඩ තහනමට ලක්ව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කර සිටි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම කරුණු ඉදිරිපත් කළේය.පසුගිය වෙසක් පුන් පොහෝ දිනයේදී ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 388 දෙනකුට නිදහස ලබා දුන් අතර, අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු වන විජයකෝන් මුදියාන්සේලාගේ අතුල තිලකරත්න නමැත්තාට අනීතිකව නිදහස දීම සම්බන්ධයෙන් විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කළේය.




නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කර සිටියේ, 2024 නත්තල් දිනයේ හා පසුගිය පෙබරවාරි 04 නිදහස් දිනයේදී මෙලෙස අනීතිකව සැකකරුවන් 68 දෙනකු නිදහස් කර ඇති බවය.පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා මෙසේද පැවසීය.මේ සැකකරු ශ්‍රී ලංකාවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා. මොහු සම්බන්ධයෙන් මා පෙරේදා දින අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු ගොනු කළා අධිකරණ නියෝග මත වරදකරු කරනු ලබන පුද්ගලයන්ට ජනාධිපතිවරයා විසින් පිරිනමන සමාව අවභාවිත කිරීමේ සිද්ධින් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. සැකකරුගේ මෙම ක්‍රියාදාමය අධිකරණ බලය අවභාවිත කිරීමක්. 

සමස්ත බන්ධනාගාර පද්ධතියේ ප්‍රධානියා වන බන්ධනාගාර කොමසාරිස්වරයා නිකුත් කරන ලැයිස්තුවකට ජනාධිපතිවරයාට තෝරාගත් පුද්ගලයන්ට සමාව ලබා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙසක්, නත්තල් වැනි විශේෂ දිනවල රැඳවියන්ට පොදු සමාව ප්‍රදානය කිරීම සිදු කරනවා. පසුගිය මැයි 12 වැනිදා වන විට එලෙස සමාව ප්‍රදානය කළ හැකි කොට්ඨාස හතරක් බන්ධනාගාර තුළ ඉන්නවා. එහිදී සිදුවන්නේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හරහා දිවයිනේ ඇති බන්ධනාගාරවලින් වාර්තා කැඳවනවා. පසුව ඒවා වර්ගීකරණය කර සමාව දිය යුතු රැඳවියන් පිළිබඳව අධිකරණ අමාත්‍යාංශ ලේකම්ට අවසන් ලේඛනයක් ඉදිරිපත් කරන්නේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් පසුව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම වාර්තාව ජනාධිපති ලේකම්ට යොමු කරනවා. මේක තමයි සාමාන්‍ය ක්‍රියා පටිපාටිය. ඒ යටතේ ඉකුත් වෙසක් දින සමාව දිය යුතූ රැඳවියන් පිළිබඳ වාර්තාවක් කැඳවීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරනවා. ඒ අනුව දිවයිනේ පිහිටි බන්ධනාගාර 28 කින් වාර්තා කැඳවා තිබෙනවා, අවසානයේදී සමාව දිය යුතු පුද්ගලයන් 388 දෙනකුගේ ලැයිස්තුවක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්ට යොමු කර තිබෙනවා." 




අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කළ අතුල තිලකරත්න නමැති විත්තිකරුවකුට අධිකරණය විසින් රුපියල් ලක්ෂ විස්සක දඩයක් නියම කර තිබෙනවා. එම දඩය නොගෙවීම නිසා එය වන්දියක් වශයෙන් අය කරගන්නා ලෙස දන්වා එම පුද්ගලයා අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කළා. අධිකරණය මගින් මොහුට දඬුවම් නියම කරලා දවස් පහයි. කොහොමද මොහු නිදහස් කිරීමේ ලැයිස්තුවට ඇතුළත් වුණේ. අනුරාධපුර බන්ධනාගාරයෙන් සමාව අයැද 37දෙනකුගේ ලයිස්තුවක් එවනවා. සැකකාර බන්ධනාගාර කොමසාරිස්වරයා ජනාධිපති ලේකම් කාර්යාලයට යවන්නේ 36 දෙනකුගේ නම් පමණයි. එතනිනුත් එකක් හලනවා. ඊට පස්සේ සමාව දී එම ලැයිස්තුව එච්චාම අනුරාධපුර බන්ධනාගාරයට යවනවා ඔබගේ ලයිස්තුව අනුමත කළා කියලා. එතකොට අනුරාධපුර බන්ධනාගාරේ අධිකාරිවරයා මොකද හිතන්නේ තමන්ගේ 37ම නිදහස් කළා කියලා නේද?


මෙහෙම බලනකොට අනුරාධපුර බන්ධනාගාරයේ තුන් දෙනෙක්ම හොරට අනීතිකව නිදහස් කරලා බන්ධනාගාරය තුළ ඔවුන්ගේම රාජ්‍යයක් හදාගෙන. ඒකේ රජ්ජුරුවෝ වගේ තමයි මේ අය වැඩ කරලා තියෙන්නේ. ඒ නිසා සියලුම බන්ධනාගාර අධිකාරිවරුන් ගැන විමර්ශනයක් කරන්න රහස් පොලිසිය පටන් අරගෙන තියෙනවා.මේ ගැන සැකකාර පාර්ශ්වයේ තර්කය මොකක්ද? ඔවුන් කියන්නේ අදාළ චක්‍රලේඛ අනුව මෙම නිකුත් කිරීම් සිදු කළා කියලා.


සිද්ධිය සම්බන්ධයෙන් කෙටි කාලය තුළ අපි විශාල තොරතුරු ප්‍රමාණයක් අනාවරණය කර ගත්තා. එම පරීක්ෂණවලින් පෙනී ගොස් තිබෙනවා මේ ආකාරයෙන් සැකකරුවන් නිදහස් කිරීම දීර්ඝ කාලයක් තිස්සේ සිදුවී තිබෙන බවට 2024 වසරේ නත්තල් දින ජනාධිපති පොදු සමාව යටතේ සැකකරුවන් 330ක් නිදහස් කර තිබෙනවා. 330න් සැකකරුවන් 57 දෙනකු නීතියට පරිබාහිරව නිදහස් කර තිබෙන බවට විමර්ශනවලින් කරුණු අනාවරණය වෙලා තිබෙනවා. ඊට අමතරව පසුගිය පෙබරවාරි 04 වැනිදාට යෙදුණු නිදහස් දින තවත් සැකකරුවන් 274 ක් නිදහස් කර තිබෙනවා. එම පිරිස අතරින් 11 දෙනකු අනීතිකව නිදහස් කර තිබෙන බවට කරුණු හෙළි වී තිබෙනවා. මේ ක්‍රියාවලිය ස්වාමීනි අධිකරණ පද්ධතියට කරන ලද බලපෑමක්, අධිකරණයේ ස්වාධීනත්වයට, අධිකරණයේ ක්‍රියාවලියට කරන ලද තර්ජනයක්, මේක සුළුවට හිතන්න බැහැ. සැකකරු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස අවුරුදු හයක් කටයුතු කර තියෙනවා. මොහුගේ ග්‍රහණයේ විශාල පිරිසක් ඉන්නවා. ඒ සියලුදෙනා එකතුවෙලා මේ සිද්ධියෙන් කොහොමද ගැලවෙන්නේ කියලා දැන් ප්ලෑන් කරනවා ඇති. 



එමනිසා සැකකරුට ඇප ලබා දීම සඳහා සුදුසු අවස්ථාවක් නෙවෙයි මේක. මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරනවා. මේක සැකකරු හා ඔහුගේ සහචරයන් විසින් කරන ලද දැවැන්ත වංචනික ක්‍රියාවලියක් එම නිසා ඇප ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටිනවා. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින් කියා සිටියේ, සැකකරු විසින් ඉදිරිපත් කර ඇති අසත්‍ය ලේඛන කුමක් දැයි බී වාර්තාවේ නිසි පරිදි සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවය. බී වාර්තාවේ සඳහන් වන අන්දමට සත්‍ය ලේඛන කුමක්දැයි, අසත්‍ය ලේඛන කුමක්දැයි යන්න පිළිබඳව සාක්ෂි ඉදිරිපත් වන නොමැති බවත්, බී වාර්තාවේ සඳහන් වන අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් හා අතිරේක ලේකම්වරයකු වන ගාමිණී දිසානායක යන අයගේ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව අනුව නිසි කරුණක් අධිකරණයට ඉදිරිපත් වී නොමැති බවය. ඒ අනුව ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව සැකකරුට ඇප ප්‍රදානය කරන ලෙසද ඉල්ලා සිටියේය. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, සැකකරුට ඇප දීම ප්‍රතික්ෂේප කරමින් ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර, ඇප සම්බන්ධයෙන් වන නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවද සඳහන් කළාය.


සැකකරු වෙනුවෙන් නීතිඥවරුන් වන දර්ශන කුරුප්පු, ලක්ෂ්මන් පෙරේරා, ප්‍රමුදිත සෙනෙවිරත්න, මිළිඳු සරත්චන්ද්‍ර, ධනුෂ්ක දිසානායක, කවිඳු ඉන්ද්‍රතිස්ස, නලින් සමරකෝන් මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියේය.
(රෝෂන් තුෂාර )